Thursday, July 17, 2025

කොනිචිවා!!

 ෆූජියමා ගිණි කන්ද.

අපි ඉගෙනගත්තේ එහෙමයි.

නමුත් ඒක ටිකක් විතර සැර වැඩියි නේ. ගිණි ??

ජපන්නු කියන විදියට කිව්වම ෆූජි-සං කියන නම එච්චර බරපතල නෑ නේ.

කාලෙකට පස්සේ බ්ලොග් පැත්තෙ ආවම අජිත් ස'ගේ ජපං සංචාර විස්තර දකින්න ලැබුනා. ඒක මරු ඈ ..

ෆූජි-සං ගැන නොකියවෙච්ච ටිකක් ලියන්ඩයි මගේ අදහස. වෙලා තිබුනොත් වෙන දවසක කියෝතො ගැන එහෙ ප්‍රසිද්ධ ගෙයිෂාවො ගැනත් ලියමු.


ලංකාවෙ ලොකු ගස් වලට (කඳු වලට නං මම දන්නෙ නෑ) වගේ ජපානෙ කඳු වලට අධිගෘහිත දෙවියො ඉන්නවා. ඒ අයට කියන්නෙ 'කමි' කියල. යේස් යේස් අර සුදු පුතාට කියන නමම තමා.

නමුත් විශේෂෙ වෙන්නෙ මේ කඳු කමී ලා දේවතාවියෝ - female - වීම.

ෆූජි කන්ද සහ සියලුම ගිණි කඳු වලට සහ සකුරා මල් වලට අධිගෘහිත කමි තමා Konohanasakuya-hime

ඒ උත්තමාවිය ගැන වැඩි විස්තර කියවන්ඩ අවශ්‍ය නං මේ ලිංක් එකෙං බලාගන්ඩ ඇහැක්. වීඩියෝවක් නං මෙතනිං  

ගිණිකඳු වලට බොස් කරලා පිරිමි දෙයියෙක් නොදා කාන්තා පරාණයක්ම දාන්ඩත් ඒ කාලෙ උනත් ජප්පන්ට බරපතළ හේතු කාරණා තියෙන්ඩ ඇති.

ඒ කෝම උනත් ෆූජි තුමා තරණය කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන්ට අමාරුකම් ඇතිවෙනවා (ඇතිකරනවා) කියා කතාවකුත් මට අසන්නට ලැබුණා.

අජිත් ස' කීවා වගේ කන්දෙ පාර තියෙන්නෙ ෆිෆ්ත් ස්ටේෂන් එකට පමණයි.

කන්ද මුදුනට නගින අයට 6-9 පහුකරගෙන මුදුනටම යන්ඩ ඇහැක්.

සේරම ෆිෆ්ත් ස්ටේෂන් හතරක් තියෙනවා කන්දෙ වෙනත් පැතිවලින් උඩට නගින පාරවල්.


යොෂිද මංපෙත ගැන කිව්වොත්,

ෆූජියොෂිද පංසලේ ඉඳං කන්දෙ මුදුනට තියෙන යොෂිද මංපෙතේ  (Yoshida trail) ස්ටේෂන් 10ක් තියෙනවා.

කවගුචිකෝ පැත්තේ ඉඳල යොෂිද මංපෙත ලෙසටම උඩට නගින්ඩ හොඳ පාරක් තියෙනව. 

මේක ටොල් රෝඩ් එකක්, ෆිෆ්ත් ස්ටේෂන් එකට යනකම් හදල දීල තියෙන්නේ සුබරු (Subaru) කොම්පැණියෙන්. ඒකෙ නම ෆූජි සුබරු ලයින්. ෆිෆ්ත් ස්ටේෂන් එකෙන් කන්ද මුදුනට නගින්නෙ නැත්තං ඔචුදො මංපෙතේ කිලෝමීටර් පහක විතර රවුමක් දාන්ඩත් ඇහැක් , ඒක යන්නේ කන්ද වටේ, හැබැයි සම්පුර්ණ රවුම නෙවේ.

ඔන්න ඔය පාරෙ පොඩි කතාන්දරයක් තියෙනවා. 

මේකෙ එක කොටසක පාරෙ කට්ට කපල තියෙනව ජපං නැළවිලි ගීයක් ඇසෙන ලෙසට 

මේ කන්ද, අඩුමගානේ එයිට්ත් ස්ටේෂන් එකෙන් ඉහළ අයිති ෂින්තො පන්සලකට. පුද්ගලික ඉඩමක්. නමුත් කාලෙන් කාලෙට ආණ්ඩුවට පවරාගෙන නැවත රිලීස් කරලා නැවත පවරාගෙන වගේ නඩුහබ එහෙමත් තියෙනව.

කවගුචිකො වැවෙන් ෆූජි-සං ගේ හොඳ පින්තුරයක් ගන්ඩ ඇහැක්. ඔය මොනවා උනත් 'කමි' ගෙ අවසරේ නැත්තං, එහෙමත් නැත්තං කුමන හෝ හේතුවකට - කාන්තාවක් නේ -   කමි අමනාප වෙලානං කඳු මුදුන වලාකුළු වලින් වහලා දානවා.

මේක බලන්ඩ ආවට 'අරිගතෝ ගොසයිමස්!'

 දෙවැනි ලෝක යුද්දෙ කාලෙ ඇමරිකන් සබ්මැරින් එකක් පෙරිස්කෝප් එකකින් ගත්ත පින්තුරයක්.

https://www.alluringasia.com/post/ochudo-trail-hike-half-day-tour

ඔචුදො මංපෙත

1 comment:

  1. අම්මට සිරි , මරේ මරු ඈ , ලින්ක් ඔක්කොටමත් ගියා . හැට්ටර් සං ගේ හොඳ විස්තරයක් . ජපානේ මට මෙච්චර කල් මග හැරුන එකට මට කණගාටුයි . ඇත්තටම මම අවුරුදු දෙක තුනක් වැඩ කරන්න හදාගෙන යනවා තරුණ කාලේ නම්. බිරින්දෑ නම් කිව්වා ෆුජි කන්ද පයින් තරණය කරමු කියල . ඒ අදහස අත ඇරලා තමා ගියේ බස් එකේ . ගේෂාවෝ බලන එක නම් මිස් වුනා ඇත්තටම වෙලා මදි වෙලා . ඒ කියන්නේ ආයේ යනවා කියන එක තමා

    ReplyDelete