Saturday, October 28, 2023

To the memory of my friend කලණ ආටිගල -- මරදානෙන් ඉදිරියට

ගුඩ් මෝනිං එකක් වේවා!

කලණව මට මුණගැහිල නෑ. අඩුම ගානෙ කතා කරලාවත් නෑ.

ඒ වගේම තමා අනිත් බ්ලොග් ලියන්නෝ, කොමෙන්ට් කරුවෝද ඇතුළුව හමුවෙලා හෝ කතාකරලා තියෙන්නේ දකුණු අතේ ඇඟිලි ගානට තමා.

නමුත්, නමුත්, මේ ලියන්නො ගැන තියෙන්නේ බොහොම පහන් හැඟීමක්. වෙරි ක්ලෝස් ෆීලින් එකක්. බොහොම කාලෙක ඉඳන් දන්න හිතෛෂියෝ වගේ.

එහෙම කෙනෙක්ට කරදරයක් උනාම ඒකත් බොක්කටම වදිනව.

මට කියන්ඩ තියෙන එකම දේ අනේ මේ බොලා තම තමන්ගෙ සරීර සෞඛ්‍යය ගැන ටිකක් හොඳට අවධානයෙන් ඉඳාල්ල. අඩුම ගානෙ පොඩිඋන් ඉන්න ඈයො වත්.


ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල් 

අපේ කලණ සර් 

රදානෙන්  ඉදිරියට  


හරියටම හයයි හතලිස් හයට කුමාරය කෝච්චියෙ හෝන් එක  ගහල ඉස්සරහට අද්දන්ඩ පටන් ගත්තා.

ලංකාවේ විතරක් නෙවේ Eurostar කෝච්චිය පැරිස් යන්ඩ ලන්ඩන් නුවර ශාන්ත පැන්ක්‍රස් ස්ටේෂමෙන් අදින්නෙත් උදේ හයයි තිස් එකට! ධූමරථ නැකත් යුරෝපෙ කියල වෙනසකුත් නෑ හිටං.

පැටළුණු නූල් බෝලයක් වගේ සංකීර්ණ රේල් පීලි නෙට්වර්ක් එකකින් කෝම කොම හරි නියම වෙලාවටම කොළඹ කොටුවට ලඟා වුනා.

තුන්වන වේදිකාවට දැන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී ..... ගාල්ල බල පිටත්වේ. එය නවත්වන්නේ ........

එතකොටම වගේ ඔන්න ඔහොම ලවුස්පීකර් නිවේදනයකුත් ඇහුනා.


දැන් පිටත් වෙන්ඩ වෙලාව හරි. අපි තාම කොටුවෙ.  

දැන් වෙලාව විනාඩි පහක් පරක්කුයි 

කුමාරයට මල 

ඇන්ජිමේ ඒ පැත්තට යනවා මේ පැත්තට යනව. අර කූඩුවේ දාල ඉන්න කොටිය වගේ.

දැන් පැය බාගයයි 

විනාඩි හතලිස් පහයි 

මට නං කීයට ගියත් එකයි. අද ගෙදර තනියම.

කළුතර රෙස්ට්හවුස් එක වහල නැත්තං බියර් එකකුත් බීල පැල් කවියකුත් කියාගෙන ගෙදර යන්ඩ ඇහැක්.

මොකෝ බං මේක යන්නැත්තෙ.

අර මලේ ඉඳන් එන මගුල එනකං ඉන්ඩෝන බං, එකෙ බඩුයි තැපැල් මලුයි පැසෙන්ජස්ලයි ගෙනියන්ඩත් ඕනේ නේ.

ඕන්න තව ටිහෙකින් විතර අනිත් ප්ලැට්ෆෝම් එකට කෝච්චියක් ආව.

හෙන කලබලයක්. මමත් ඔලුව එලියට දාගෙන බලාගෙන හිටිය.

මිනිස්සු දුවගෙන ඇවිත් මේකට නගිනව. බඩුමුට්ටු තැපැල් මලු ලෝඩ් කරනවා දාහක් වැඩ.

තව ටිකකින් කුමාරය ඉඳගත්තා ප්‍රෑම් ප්‍රෑම් අපි පිටත් උනා.

පොඩි බිංගෙවල් වගේව ඇතුලෙන් ගොහිං කොම්පඤඤවීදියත් පහුකරන් මූද අද්දරින් ඔන්න අපි නගරෙන් එලියට ආව. 

හැට්ටර් දැනටම මේක පැයක් හමාරක් පරක්කුයි බං 

මේකේ යන බොහෝ දෙනා තම තමංගේ ස්ටේෂන් වලින් ලාස්ට් බස් එක අල්ලන්ඩ යන උං. ඒක ගිහිල්ල නං උන්ට ගෙවල්  වල යන්ඩ එක්කො එළිවෙනකන් පයින් ගාටන්ඩ වෙනව නැත්තං නොවටිනා ගානකට තෙපාවක් හයර් කරගන්ඩ වෙනව.

ඔය මිනිස්සු මටනං මක්කවත් කියන්නේ නෑ හැබැයි අර අහක ඉන්න සෞඛ්‍ය මිස් නිරපරාදෙ බැණුන් අහනව.

අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය මිස් කුමාරයාගේ අම්ම.

මේම ගිහිං හරියන්නෙ නෑ මචං හයියෙන් යන්ඩ වෙනව.

(Throttle control එක )නොච් තුනේ ගිය කෝච්චිය නොච් හතර පහ උනා.

එන්ජිම හොඳට සැර දාල යනව.

හැබැයි මිත්‍රෝරුනි හරිම සැපයි උඩදාල පොළවේ ගහනවා වගේ ඩාං ඩාං ගාල ඇන්ජිම අඟල් කීපයක් උඩ ගොහින් ආපහු අර යකඩ පීල්ලට වදිනවා..

මොකෝ බං මේ සැප!
මේකේ ඩෑම්පර් ගිහිං අපේ වේශිගෙපුතාල ඒව දාන්නෑ බං.
උඹට මේ ටික වෙලාවට මෙහෙම නං හිතාගත්තැකිනේ හැමදාම දුවන අපි ගැන.

නොදන්නා අයට: මේ ඩෑම්පරේ කියන්නේ කාර්වල තියෙන සොකැට්සෝබරේටම (shock absorber) තමා. එකේ නියම නම ඇත්තටම ඩෑම්පර්

ඕන්න දැන් කොල්ලුපිටිය පාස් උනා. කෝච්චිය ඇරලා යනවා. නොච් පහේ නේ යන්නේ. මේවායේ ඇක්සලේටර් නෑ ගියර් වගේ 'නොච්' එක තමා වේගේ අඩු වැඩි කරන්ඩ තියෙන්නේ.

බම්බලපිටිය ස්ටේෂම පේනව.
එන්ජිමේ ඇතුලෙ ලයිට් නිවුනා.
රේල්පාර මක්කාවත් පේන්නෙ නෑ.කෝච්චියෙ හෙඩ් ලයිට් එකත් නිවිලා.
කෝච්චියෙ සද්දෙ විතරයි ඇන්ජිමේ සද්දෙ නැවතිලා.
ඇන්ජිම නැවතුනත් කෝච්චිය ඉස්සරහටම යනව - ඇයි මේකෙ ඉන්නෙ හෙළයො නේ !
ඉදිරියටම යවු හෙළයිනි ඉදිරියටම යව්! 

කුමාරය සීට් එක කරකවාගෙන පස්සට හැරිල කළුවරේම මක්කද කළා.
ගුජු ගුජු ගුජු ගුජු කැබින් එකේ ලයිට් පත්තුඋනා ඉස්ටේෂම පාස්වෙලා නමුත් දැන් පාර පේනවා.

අගේන් ග්‍රැජග් ග්‍රැජුවලි (ඉන්ග්ලිෂ් වලින් ක්‍රමක්‍රමයෙන්) නොච් පහට. ආයෙමත් අරිනව එකසිය ගානටම 
අනේ පිංවත් නෝනාවරුනි මහත්වරුනි වැල්ලවත්ත පඋඋනා විතරයි හුකා මේක ආයෙමත් හිට්ටා.

කුමාරය ආයෙමත් කැරකිලා මක්කද කළා. ඒත් මේ පාර ඒක වැඩකළේ නෑ.
ඇසිස්ටන් ගෙන් ටෝච් එක (අපි ඉන්න පලාතෙ pass me the torch කිව්වම උඩබිම බලනව ඒක pass me the flashlight කියල කියන්ඩ ඕනෙ) ඉල්ලගෙන වෙන මක්කහරි කොරල හිටං ඇන්ජිම නැවත පණගන්වාගත්තා.

මචං ඇන්ජිම ගන්නකොටත් ඒකෙ නෝට් එකක් තිබ්බ මේක හිටිගමන් නවතිනවා කියල. ඒත් වෙන මොකක් කියල ගේන්නද? තියෙන එක එපැයි ගන්න.
දැන් උඹ මක්කයි කලේ මේක ඉස්ටාට් කරන්ඩ 

මේකෙ මචං ඩෑම්පර් ගිහිං කිව්වනේ ඉතිං ඔහොම උඩ පැන පැන හයියෙන් යනකොට රේඩියෙටරේ වතුර කඳත් උඩ යට යනව ඒ එක්කම රේඩියෙටරේ ලෙවල් එම මයින්ඩ තියෙන ෆ්ලොටර් එකත් (අර සිස්ටන් එකේ එක වගේ) සමහර වෙලාවට ගොඩක් යටට යනවා. අන්න එහෙම යටට ගියාම හරියට ඇන්ජිමේ වතුර ලෙවල් එක අඩුයි කියල තමා සිග්නල් එක එන්නෙ. එතකොට වතුර නැතුව දුවල ඇන්ජිම සීස් වෙන එකෙන් බේරගන්ඩ කොන්ට්‍රෝල් එකෙන් ඇන්ජිම ඕෆ් කරලා දානවා. එකයි සිද්ධාන්තේ. 
මෙතන පිටිපස්සේ තමා ඒකෙ රිලේ එක තියෙන්නේ. ඒකට පොඩි තට්ටුවක් දැම්මම බොහෝවිට ආයේ රීසෙට් වෙනවා නමුත් සමහර වෙලාවට ඒක ටිකක් ලොකු වැඩක් වෙනවා. 
මෙන්න මේක තමා ඒකට බෙහෙත කියල මට අයිස් පලම් එකක මැද තියෙන ලී පතුරක් රිලේ බෝඩ් එකේම යටින් තියල තියෙනවා පෙන්නුව.
මේ ලී පතුර රිලේ එක මැදට රිංගුවනං මළාට ඕක ඕෆ් වෙන්නේ නෑ. හැබැයි එතකොට දන්නෙම නැතුව වතුර නැතුව දුවල ඇන්ජිම ෆුල් ඩැමේජ් වෙච්ච කේසුත් තියෙනවා.

මේ ඒකෙන් මේකෙන් වැඩක් නෑ මේක මග හිට හිට යන්ඩ බෑ. අපි නොච් තුනේම යං.

අම්මටසිරි අමතක උනානේ, රිලේ එකට සිංහලෙන් කියන්නේ 'පිලියවනය' කියල.

අඟහරුවගෙ පොස්ට් එකෙකින් ඉගෙනගත්තේ.

පිලියවනය ගැන එයා ඉදිරියේදී කියල දේවි.ඒ අතරතුර මක්කහරි කොස්සක් තියෙනවනං කියන්ඩ, පුළුවන් එකක්නං  පැහැදිලි කරලා දෙන්නම්.


අදට හොඳටෝම ඇති. කෝච්චි කතාත් ඇති.

මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි.


අද අනුස්මරණ දිනයක් නිසා බයිලා නෑ


මේක තිලක් කමෝද් රාගය. සන්ධ්‍යා කාලයේ රාගයක්. ලාවට සිංගල් මෝල්ට් එකක් ඔන් රොක්ස්‌ තිබ්බනං ..ම්ම්ම්ම් 

උස්තාද් රෂිඩ් ඛාන්ගේ මේ ගීතයත් (Jab we met පිචෑස් එකේ) තිලක් කමෝද් බේස් කරගත්ත එකක් ඈ 


Myself Hattor



Saturday, October 21, 2023

භක්තිමත් ශිෂ්‍යයා (BS)

 උසස් පෙළින් පස්සෙ රස්සාවක් හොයාගන්ඩ බැලුවා හරි ගියේ නෑ මිල්ටේරියට යන්ඩ ඉන්ටව් ගියා ඒ යනවට බලපිටියෙ මන්ත්‍රී තුමා කැමති උනෙත් නෑ. පස්සෙන් පහු කල්පනා කළා තව මක්කවත් ඉගෙනගන්ඩෝන කියලා.

වැඩේට ගෙදර ඉඳලා එන්ඩ බැලුවත් ඒක ප්‍රයෝගික උනේ නෑ. ගාලුපාරට කිට්ටුව කටුබැද්දෙ පිළියන්දල පාරෙන් බෝඩිමක් හොයාගත්තා. කැම්පස් එක, ජර්මන් ටෙක් එක, අධුනිකත්වෙ වෙලෝන එක ඔක්කොම තියෙන නිසා ඔය ඒරියා එකේ බෝඩිම් බහුලයි.

මට ඕක සැට් උනාම ඒකෙ විස්තර අහලා මගෙ ගෲපාටත් එතනටම එන්ඩෝනඋනා. පොඩ්ඩගේ ගම මාතර. මාතර කිව්වට මාතර බස්ටෑන්ඩෙකේ ඉඳල තව පැය එක හමාරක දෙකක ගමනක් උගේ ගෙදරට. ඒත් වෙලාවට බස් තිබ්බොත් විතරයි ඈ 

බෝඩිම්වල උන්නු අය දන්නව ඇතිනේ එව්වයෙ කෑම ගැන. අනිත් අයත් අහල කියල ඊර්ශ්‍යා කරලා ඇති ඒවගෙ ලැබෙනව කියන ස්ටාර් ක්ලාස් ෆුඩ් වලට.  ඉතිං අපි සුමාන දෙහෙකට තුනකට පාරක් හැන්දෑකොරේ හංදියට ගොහිං පොඩ්ඩක් බඩ පුරෝගෙන එනව.
මල්ලිකා හෝටලේ ඇත්තො ජාති ජාතිත් වැඩි වැඩියෙන් ලබන්න ඕනෙ. හැන්දෑවට ඕකේ කොහොමත් සෙනඟ, අධ්‍යාපන චාරිකාවක ගොහිං එන බස්සෙකක් නවත්තනවා කියන්නේ කඩේ කට කපලා සෙනග. ඉතින් බනිසක්, මාළුපානක් ප්ලේන් ටී එකක් ඒගොල්ලොන්ට දැනෙන්නෙ නෑ.

ඔන්න එදත් සුපුරුදු ඩයට් එක දාල බාප්පිගේ කඩේ වගේ අපි දෙන්න එලියට ආව. අඳුරත් වැටිලා, පාරේ ලයිට් දාල එත් පේමන්ට් එකේ එච්චර එළියක් නෑ.

ඒයි මචෝ හැට්ටර් මට රුපියල් පහක් දියං.
ඈ බං මේ රෑ බොට මක්කටෙයි සල්ලි.
ඒ කාලෙ බෝම හැදිච්ච කොල්ලෙක්, කුණුහබ්බ පාවිච්චියක් ඇත්තෙම නෑ වගේ.
උඹට වැඩක් නෑ නේ පහක් දියං.
යකෝ බොට නිකං පහක් දෙන එකේ අයෙමත් මල්ලිකා එකට ගිහිං සල්ලි දීලම මාළුපාන් දෙකක් කාල එනවනේ.
හරි හරි මට පත්තරයක් ගන්ඩ රුපියල් පහ දීපං 
දැන් ඔන්න පොඩ්ඩ පහේ කාසියත් අරන් යනව පත්තර ලෑල්ල දිහාවට 
උඹ ඔහොම හිටිං මං ගිහිං කෂ් ගාල පත්තරෙත් අරන් එන්නං.
මූ ගියා මක්කහරි කිව්ව කාසිය දුන්න මුදලාලි පත්තරයක් දුන්න. තප්පරෙන් මෙන්න පොඩ්ඩ මා ළඟ.
යමං යමං
මහත්තය ඉතුරු සල්ලි ගන්නැද්ද 
ඒ අඩෝ අන්න ඉතුරු සල්ලි දෙන්ඩ කතාකරනව 
යමං යමං යමාං... මූ මාවත් ඇදගෙන බෝඩිමට යන්ඩ පිටත් උනා.
එදා කොහොම බෝඩිමට ආවද දන්නෑ මූ හරියට කාල් ලුවිස්ගෙ කෝච් වගේ.ඇවිදිනවා නෙවේ දුවනවා. පත්තරෙත් රෝල් කරගෙන.

කාඹරේට ගියා ගිය සැනින් දොර වහල මූ කියනවා 
අඩේ නියම පත්තරයක් ගෙනාවේ. බලමු 

පත්තාරේ දිග ඇරිය 
අම්මටසිරි 'බුදුසරණ' පත්තරේ 
ධර්ම භාණ්ඩාගාරයක්!


පොඩ්ඩගෙ ෆේස් ප්ලේට් එක හරියට හුලං බැහැපු ටැට්ටර් ටෑර් එකක් වගේ.
මේ උඹ මේක කාටවත් කියනවා එහෙම නෙවේ. හරිද 
හරි හරි උඹ මේ තකහනියක් දඟලල ගියේ බුදුසරණ ගන්ඩ නෙවෙයිද 

නෑ බං මම ඉල්ලුවේ 'නව සරණ'

ආ එහෙම වරෙන් පුතා.
කෝම හරි මම විතරයි එදා බුදුසරණ බැලුවෙ.

වෙන දවසක මම නවසරණක් ඌට අරගෙන දුන්න.

කමල් මහතා මට එසේ ඉන්නට කීවාය. වගේ නොයෙකුත් කතා සහ සෙන්ට ෆෝල්ඩ් එකේ ලැජ්ජ නැති සුද්දියෙක්ගෙ කලර් පොටෝ එකක්!
 
ඉන් පස්සේ ඔය පත්තරේ ඩිස්පෝස් කළ හැටි තව චැප්ටර් එකක් හිටං.

දැන් අදට ඇති.
මෙහි පැමිණි නොපැමිණි ඔබ සැමට ජයවේවා!

මේ බස්නායක උන්නැහෙගේ ඇෆ්ගන් ජලේබි එකේ සිංදුව.



Sunday, October 15, 2023

දැන් වේලාව රාත්‍රී දහයයි

 ද සෙනසුරාදා!

දැන් වෙලාව රෑ දහයයි.

ඕ යේස් ටෙන් ඇට් නෛට්. (EDT - ඊස්ටන් ඩේලෛට් ටෛම්)

සමහරු දහයයි කියල උදෙන්ම බ්ලොග් පෝස්ට් දාල තිබුණ හිටං. හැබැයි දැන් තමා හරිම වෙලාව! රෑ දහයයි.

Thanks to clker.com for the image


පරණ කතාවක් මතක් උනා.

ඔන්න මං උසස් පෙළ කියල විබාගේකට ලෑස්ති උනා නේ කාලෙකට ඉස්සර.

ටවුමෙ හෝල් එකට පිචෑර් එකක් ඇවිත් තිබුණ ඒ නිසා සෙට් එකම පීරියඩ් දෙකක් කට් කරලා හිටං එක බලන්ඩ යන්ඩ ලෑස්ති උනා. සෝ එක දෙකයි තිහට.

එක හමාරයි වෙලාව. බයිෂලෙත් පැදගෙන යනව රීගල් හෝල් එකට යන්ඩ.

අම්මටසිරි 'සමතය' එනවා ඉස්සරහට.
මල්ලෙ කොඑද මේ දාඩිය පොල්ල දාගෙන තකානියේ යන්නෙ.
මූ මගේ බයිෂලේ නවත්තල හැඬල් එකෙන් අල්ල ගත්ත.

සමතපාල මම යනවා පිචෑර් එකක් බලන්න. මරු කව්බෝයි සෝ එකක් ඇවිල්ල රීගල් එකට.
මල්ලෙ අපි නං ඩෙක් පීස් වලිං තමා පිල්ම් බලන්නෙ.
මං ලබන පාර එනකොට හොඳ ජපං ඩෙක් එකක් ගේන්නං.
දැන් අහපංකො සවුදියෙ වරුණාව !

මේ ඒක නෙවෙයි සමතෙ මං පස්සේ වෙලාවක එන්නං ඔය කතා අහන්ඩ. දැන් පරක්කුත් වෙලා මං යන්නං.
මොන පරක්කුවක්ද මල්ලෙ තාම එකොළහයි කාලයි නෙ. දෙකෛ තිහනේ සෝ එක.
අයිෂේ මම ගෙදරින් පිට වෙනකොටත් එක හමාරෛ. තමුසේ මේ දොඩෝනවා.

නෑ මල්ලෙ මේ බලන්ඩ. තාම එකොළහයි කාලයි. මෙන්න සමතය එයාගේ කැසියෝ ඩිජිටල් ඔරලෝසුව මට පෙන්නනවා.
ඔව්!, ඒකෙ වෙලාව එකොළහයි කාලයි.
මල්ලෙ මේ තමා හරිම වෙලාව. සවුදි වෙලාව හරියටම හරි!
මේ තවුසෙ ඕකේ වෙලාව හදාගන්නවා. මං යනව මට පරක්කු උනා.



ඒ එක.

දෙක, තවත් කෞතුක චරිතයක්!. ඩබ්ලිව් එස්.

ඩබ්ලිව් එසා, මාත් එක්ක එකම ඔපීසියේ වැඩ කළ අයෙක්. වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක්.
හැට්ටර් අත් ඔරලෝසුවක් පාවිච්චි නොකරන කෙනෙක්. (වෙලාවට වැඩ නෑ, එම නිසා ටයිම් පීස් අවශ්‍යත් නැත).

දවසක් මොකක් හෝ හේතුවකට මම ඩබ්ලිව් එස් ගෙන් වෙලාව විමසුවා.ඩබ්ලිව් එස්ගෙ වෙලාව හරියටම පැයක් වැඩියි.
මොකෝ බොස් ඕකෙ පැයක් වැඩියි නේ!
මෙහෙමනේ හැට්ටර්, දැන් උදේට වෙලාව බැලුවම මට හිතෙන්නෙ මම පරක්කුයි කියල, ඒ නිසා ඉක්මනට ලෑස්ති වෙලා වෙලාවට වැඩට එනවා. 
ඉතිං බොස් ගෙදර යනකොටත් පැයක් කලිං යනවද? 
බොටත් ඕනෙ නැති මගුලක්  නෑ. අනිත් උං වැඩ ඇරිලා යනකොට මමත් යනවා.

අපිලට දිරෙව්වෙ නැති උනාට, ඩබ්ලිව් එස් ඇත්තටම වෙලාවට කලාවට වැඩ කරන කෙනෙක්, ඒ වගේම බොහොම .. මං කොහොමද හරියටම ඒක කියන්නෙ .. කියමුකෝ අධිප්‍රවේශම්සහිත කියලා..
වැඩට ඇවිත් හතට දෙකක් තියෙද්දී පොත අස්සං කරනවා. හතට එකක් තියෙද්දී නෙට්වර්ක් එකට ලොග් වෙනවා. හරියටම හතට මොකක් හරි ලෝකෙ නැති මයින(ර්) එලාම් එහෙකට ට්‍රබල් ටිකට් එකක් දානවා. මෙහෙමනේ හැට්ටර්, මම තැන තුනකින්ම මගේ එන්ට්‍රිය රෙකෝඩ් කරනවා. 
වැඩ ඇරෙන කොටත් එහෙමම තමයි. තුනට ට්‍රබල් ටිකට් එක. තුනයි එකට ලොග් ඔෆ්, තුනයි දෙකට සයිනෝෆ්.

මාස හයකට විතර පස්සෙ මට හිතුණා ඩබ්ලිව් එසාගෙ වෙලාව කෝමද කියල බලන්ඩ. එදා පැයයි තව විනාඩි කීපයක් වැඩියි.

හ්ම්..
සෙයිකෝ ඩේ ඇන් ඩෙට් හොඳ ඔරලෝසුවක් ඒක. දැන් වැඩිඋන විනාඩිය හදන්න ඩබ්ලිව් එස් කිසිදිනක කටුව ආපසු කරකවන්නේ නැත. ඔරලෝසුව කැඩේ යයි කියා. ඕක පැය විසි හතරක් ඉදිරියට කරකවන්නෙත් නැත. ගෙවෙයි කියා. 
ඇයි දවස, දිනේ ඔක්කොම වෙනස් කරන්ඩ එපාය.  තව ගෙවෙනව

ඩබ්ලිව් එස් ගැන  තව ටිකක් කියනවනං මෑන්ස්ට ටී වී දෙකක් තිබුනා. අඟල් 26, කලර් එකක් (ඒ කාලෙ තිබුණු ලොකුම සයිස් එක) සහ අඟල් දොළහේ බ්ලැක් ඇන් වයිට් එකක්. කලර් ටී වී එකට හොඳ ලස්සන කවරයක් හෙම දාල, උඩින් ප්ලාස්ටික් මල් පෝච්චියක් එහෙමත් තියල තිබ්බේ. කළු සුදු එකේ තමා සියලුම දේවල් බලන්නේ. යථාර්තය වගේනේ. කළු සුදු නේ.

ඩබ්ලිව් එස් ගැන නං කතා සරිත් සාගරේ වගේ එකක් යනකොට එකක් මතක් වෙනවා.
සෙකටරි කෙනෙක් වත් හොයාගන්ඩ ඕනෙ හිටං ඔව්ව ලියනවනං.

බයිලා උනත් මේ දෙකම සත්‍ය සිද්ධි බවටත් නම් ද සත්‍ය බවටත් සහතික වෙමි!
කාල වෙලාව සහ ඩේටා වියදම් කරගෙන මෙහි පැමිණි ඔබ සැමට ස්තුතියි!

ජයවේවා!

 
ප. ලි.
සමතයගේ ඔරලෝසුවෙ වෙලාව පස්සෙ දවසක මං හරියට හදලා දුන්න.
ලංකාවෙ වෙලාව නේ වෙලාව!