Friday, December 15, 2023

ටෝක් එක බැලන්ස් කරන්ඩ ට්‍රිප් එක යෑම

ටෝක් එක කිව්වෙ ඉංග්‍රීසියෙන් torque කියන දේට. සිංහල පාරිභාෂික ශබ්ධකෝෂයේ නං මං හිතන විදියට මේකට කියන්නෙ ඝූර්ණය. ඝූර්ණය වචනෙත් අලුතෙම්ම හදපු එකක් නිසාත් ඒකෙ අපි දන්නා විදියට තෝරගන්ඩ, සමාන කරලා බලන්ඩ  මක්කවත් නැති නිසාත් ටෝක් කියන එකම පාවිච්චි නොකෙරුවෙ ඇයිද කියල මටනං තේරෙන්නේ නෑ. ඒත් සිඩ්නි සිනුවර කරපු අපේ ඓයලට මේකත් මහා කජ්ජක්ද ආයුබෝවන්ඩ.

ටැක්නිකල් අංශෙදි අපි මේ ටෝක් එක හඳුන්වන්නෙ   (ග්‍රීක භාෂාවෙ 'ටෝ ') කියන සුරතල් නාමයෙන්. 

අපි කරකැවෙන එහෙමත් නැත්නම් භ්‍රමණය වෙන යන්ත්‍ර ගැන ඉගෙනීමේදී ;

P=  * ω 

මේ සමීකරණයේ P (Power) බලය ලෙසත්,   - ටෝක් එක ලෙසත්, ω (ග්‍රීක් අක්ෂරය (lower case -සිම්පල් )ඔමේගා )  - angular velocity හෙවත් ආන්ත්‍රික ප්‍රවේගය (තත්පරයට රේඩියන් වලින් මනින ලද ) ලෙසත් පාවිච්චි වෙන්නේ.

තව ටිකක් පහසු කළොත් 

ω = 2 * π * n 

π නම් ඉතිං අපි දන්න පයි ම තමා (22/7 එසේත් නැත්නං 3.1416), එතකොට n කියන්නේ තත්පරයට කරකැවෙන වට ගණන.

P=  * 2 * π * n 

දැන් ටිකක් මේක ඇංජිමකට, රෝද කරකැවෙන ටැට්ටරේකට එහෙමත් නැත්තං බයිෂලේකට උපමා කරලා බලමුද.

අපි තැනිතලා පාරේ වේගයෙන් පදිනවා. ඒ ගානටම මාන්සි වෙලා ඒ ගානටම දාඩිය දාගෙන පෑගුවත් කන්දක් එහෙම නැත්නම් නැග්මක් එච්චර වේගෙන් යන්ඩ බෑ. කන්දක් අදිද්දි ගුරුත්වාකර්ශනෙයි අරකයි මේකයි කියල ආපස්සට අදින බලවේග තියෙනව. එතකොට එව්ව මැඩපවත්වගෙන ඉදිරියට එහෙමත් නැත්නම් උඩට යන්ඩ ලොකු ටෝක් එකක් අවශ්‍යයි. එතකොට අපේ අර දාඩිය දාගෙන පදින බලය එකම නම්, ටෝක් එක වැඩි උන කළ, n හෙවත් තත්පරේට රෝදෙ කැරකෙන රවුම් ගාන අඩුවෙනවා.

උදාහරනෙකට මෙහෙම බලමු 

ඔන්න P=  * 2 * π * n 

දෙපැත්තම (*2* π)  වලින් බෙදුවොත් 

P               =  * 2 * π * n 

(*2* π)             (*2* π) 

දකුණු පැත්තෙ කැපෙන එව්ව කැපිල හිටං

P               = n 

(*2* π)             


දැන් හිතමු තැන්නේ යනකොට බලය යුනිට් 40ක් දානවා කියල 
අපිට ඒ පදින්ඩ ටෝක් එක 5 ක් අවශ්‍ය වෙනවා නම් 
රෝදේ වේගය වන්නේ 
40                   = 1.2732
5 * 2 * 3.1416 

තත්පරයට රවුම් 1.273 - ඒ කියන්නේ තත්පරේට රවුමයි කාලක් වගේ 


එතකොට හිතමු කන්දෙ පදිනකොට එම බලයම එනම් යුනිට් 40ම  දානවා කියල 
දැන් අපිට ඒ පදින්ඩ ටෝක් එක 10 ක් අවශ්‍ය වෙනවා එතකොට 
රෝදේ වේගය වන්නේ 
40                     = 0.6366
10 * 2 * 3.1416 


තත්පරයට රවුම් 0.6366  - ඒ කියන්නේ තත්පරේට රවුම් බාගෙකට ටිකක් වැඩියි 

කන්දෙ ආනතිය තවත් වැඩිනං බයිෂලේ පැදගන්ඩ බැරුව නවතිනව. ඒ කියන්නෙ තව දුරටත් පදින්ඩ අවශ්‍ය ටෝක් එක අපේ උපරිම බලයෙන් සපයාගන්ඩ බෑ.
 
වාහනේක උනත් ලෝඩ් එක අධිකව දාල එක්කො යන්ඩම බෑ නැත්තං බෝම හෙමිං ගමන.
ඔය යන අතරෙ පාරෙ නැග්මක් එහෙමත් නැත්තං තව හයියෙන් යන්ඩ ඇංජිම තව රේස් කළාම ඇංජිම නවතිනවා විතරක් නෙවේ බොහෝවිට ක්‍රෑන්ක් එකත් කැඩිලා යනවා.

ජෙනියකට එහෙමත් නැත්තං විදුලි ජනක යන්ත්‍රයක් ගත්තොත් බලය සපයන්නේ එක්කො ටර්බයින් (ගෑස්, වාෂ්ප එහෙමත් නැත්තං ජල විදුලි) එකකින් නැත්තං තෙල් වලින් දුවන ඇංජිමකිං. 

විදුලිය සම්බන්ධව අපි මූලික සමීකරණ දෙකක් කතාකරනවා.

ඕම්ගේ නියමය 

V = I  * R 

V - පරිපථයේ විභව අන්තරය, ගෙදර නං 230 වෝල්ට් (ප්‍රත්‍යාවර්ථ ධාරා, AC හෙවත් Alternating current)  , කාර් එකේ 12 වෝල්ට් (සරල ධාරා, Direct current හෙවත් DC ) විදියට 
I - පරිපථයේ ගලන විදුලි ධාරාව , ඇම්පියර් වලිං  
R - පරිපථයේ ගලන ධාරාවට ඇති ප්‍රතිරෝධය , ඕම් වලිං 

දෙවනුව 
P = V * I 

මෙතන V, I පරණ දේම තමා, නමුත් P කියන්නේ Power එසේත් නැත්නම් ජනිත කරන බලය , වොට් වලිං 

දැන් පොඩි උදාහරණ කීපයක් අරං බලමු 

එක්තරා සේකිට් එකක 230V AC සප්ලයි එකක් ඇතැයි සිතමු 
අපි ඒකට වොට් 1000ක හීටරයක් ප්ලග් කළා කියමු 

දැන් P =V *I  අනුව 
1000=230 * I 
I =1000/230
I = 4.348 ඇම්පියර් 
ඒ සේකිට් එකේ ඇම්පියර් 4.348ක ධාරාවක් යනවා. 

ඒ සමගම ඕම් නියමය අනුව 
V =I *R 
230=4.348 * R 
R=230/4.348
R =52.898 ඕම් 
ඒ සේකිට් එකේ ධාරාවට  ප්‍රතිරෝධය ඕම් 52.898 ක් වෙනවා.

අපි හිතමු මේ හීටරේ ෂෝට් උනා කියල.
ඒ කියන්නේ ප්‍රතිරෝධය ඉතාම අඩු උනාම,  එහෙමත් නැත්තං හීටරේ ඇතුලේ සප්ලෛ වයර් එක නියුට්‍රල් එකේ ගෑවිලා.
එතැනදී තියෙන්නේ ඉතාම අඩු ප්‍රතිරෝධයක්, හිතමු ඕම් 0.01කියල 
මේ වෙලාවේදී ගලායන ධාරාව I ගණනය කලොත් 

230 = I * 0.01
I=230/0.01
I = 23000 ඇම්පියර් 

ඇම්පියර් විස්ස තිහ යන්න හදපු වෑර්වල ඒ වගේ දහස් ගානක් යන්ඩගියොත් ඒව ගිනිගන්නවා. ඒ වගේම ක්ෂණික අධික කරන්ට් එක නිසා පරිපථයට සම්බන්ධ කරලා තියෙන උපකරණ වලට හානි වෙනවා. අන්න ඒක නවත්තන්න තමා සේකිට් එකේ ජම්බුගස් තියෙනවනං පියුස් (විලායකය) ද එසේත් නැතිනම් සේකිට් බ්‍රේකර් ද දමන්නෙ.

ජම්බුගස්මුල්ල 


සේකිට් බ්‍රේකර් 


මේ සංසිද්ධිය හැම විදුලි පරිපථයකටම වගේ පොදුයි.

අදාළ ප්‍රමාණයට වඩා වැඩි කරන්ට් එකක් පරිපථයේ එන විට පියුස් එක මැදින් පිච්චීමෙන් හෝ සේකිට් බ්‍රේකර් එක ට්‍රිප් වීමෙන් අදාළ පරිපථය විවෘත වෙනවා. කරන්ට් එකට ගමන්කිරීමට නම් සංවෘත පරිපථයක් අවශ්‍ය නිසා මේ අවස්ථාවේදී උපකරණය ක්‍රියා විරහිත වෙනවා.

කොත්මලේ ඉඳල බියගමට එන ලයින් එක මෙගාවොට් 500 ක විතර බලයක් රැගෙන එන්නෙ වෝල්ට් 220000 ම (220kV) විභවයකින්. P =V *I  අනුව එහි ඇම්පියර් 2000කට වැඩි කරන්ට් එකක් පාස් වෙනවා. ඕක සේකිට් හතර පහක තමා එවන්නේ, ඒ කියන්නේ එක සේකිට් එකක ඇම්පියර් 500 ක් විතර එනවා. ඔය එක ලයින් එකක් ෂෝට් උනොත් මිත්‍රෝරුනි මතකනේ ඇම්පියර් හතරෙන් දුවන හීටරේ ෂෝට් උනොත් ඇම්පියර් විසි දාහකට වඩා ගන්නවා කියල. මේක ඇම්පියර් 500 ක් විතර ෂොට් උනොත්...

ඔහොම ෂෝට් උනොත් ජෙනරේටරේ බේරගන්ඩ ලයින් එක ට්‍රිප් වෙනවා. එතකොට ලයින් එකේ කරන්ට් එකක් එන්නේ නැත.
ඔය වගේම තමා ලයින් එක මගදී කැඩුනොත්. එතකොටත් ලයින් එකේ කරන්ට් එකක් එන්නේ නැත.

ඔය කොත්මලේ-බියගම ලයින් එක අකුණු වලටත් බෝම ප්‍රසිද්ධ එකක්. හොඳවයින් අකුණක් වැදුනොත් ලයින් එක ට්‍රිප් වෙනවා.

මං හිතන තරමට ලංකාවෙ විදුලි ඉල්ලුම මෙගාවොට් 2500-3000 අතර වෙනවා, මෙතනිං මෙගාවොට් 500ක් ක්ෂණිකව අයින් උනා කියන්නේ ඉතුරු ජෙනරේෂන් ප්ලාන්ට් වලට ඒ ඉල්ලුම ක්ෂණිකව සපයන්ඩ වෙනවා (දෙමටගොඩ සිස්ටම් කොන්ට්‍රෝල් එකෙන් වෙනත් ප්ලාන්ට් සම්බන්ධ කරන තෙක්).

ඔන්න එතකොට ඒ වැඩිඋන ලෝඩ් එකට සරිලන විදියට ටෝක් එක දෙන්ඩ ඒ ජෙනි වල වේගය අඩුවෙනවා. එතකොට පද්ධතියේ සංඛ්‍යාතය - system frequency එක 50Hz ට වඩා අඩු වෙනවා. එක අඩු වෙච්චි ගමං ඒ හේතුව නිසා ඒ ප්ලාන්ට් ට්‍රිප් වෙන්ඩ ගන්නවා. ඔන්න රටම අඳුරේ.
ගෙදර ලයිට් ගියාම, ලයිට් එන්ඩ කලිං සේරෝම වගේ උපකරණ ඕෆ් කරලා ලයිට් ආවම නැවත එක එක ඔන් කරන් යන එක හොඳ පුරුද්දක් වගේ මේ ට්‍රිප් වෙච්චි ප්ලාන්ට් නැවත සිස්ටම් එකට එකතු කරන එකත් බෝම සීරුවට කළ යුතයි.

විදුලි ඉංජිනේරු විද්‍යාවේ අන්තිම අවුරුද්දේ විතර ඕව වෙන හැටි කරන හැටි සේරම උගන්නනවා.
ඒ විතරක් නෙවේ ඔය නිතර කැඩෙන අකුණු වැදෙන ලයින් එක්ක වැඩ කරන හැටිත් ඔහොම නොවෙන්න වැඩ සලස්සන විදියත් උගන්නනවා.

එක්කො මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො ඇත්තටම විදුලි ඉංජිනේරුවෝ නෙවෙයිද කියල කවුද දන්නෙ, සමහරවිට විහිලු ඉංජිනේරුවො වෙන්ඩෑති.

ඩිස්ක්ලේමර් එක: ඔය V=I*R, P =V*I වගේ සමීකරණ සෑම තත්වයටම සර්ව සධාරණ නැති බවත්, මේ වගේ පොඩි පහේ එක්ස්ප්ලනේෂන් එකකට නම් ඕ කේ බවත් කියා සිටිමි.

මේ සෙනසුරාද ට්‍රිපක් යන්ඩ සිටින නිසා ශනි මොකද සිකුරු මොකද කියා අද දැමූ බවත් එදාට මක්කහරි ටෝකක් දාගන්ඩ ඇහැක්ද කියා බලමු කියා මෙයින් නවතිමි.

අසා සිටි ඔබ සැමට ස්තුතියි 

Sunday, December 10, 2023

රේඩියෝ රේ ප්‍යාර්කෙරේ

ඔන්න ඉතිං ඉස්තානෙ ගේට්ටුව ලඟටත් ආව කියමුකෝ. ගේට්ටුවෙ ඉන්න 'උස' හාදයෙක් ඇවිත් මගේ නම ගම උපං ඉස්තානෙ ආදී නොයෙක් විස්තරත් අහගෙන කාවද මුණගැහෙන්ද ඕනෙ කියලත් අහගෙන ඊට අමතරව මගෙ අයිඩෙන්ටි කාඩ් එකත් අරං ඇතුලට ගියා. ඉන් පස්සෙ තව 'උස' හාදයෙක් ඇවිත් වාහනේ ඇන්ජිම හොදින් තෙල් මාරුකරලා ග්‍රීස් ගහල කාරිය කරලා තියෙනවද, බූට් එක පිරිසිදුව තියෙනවද, චැසිය මලකඩ කාලා හෙම නැද්ද යනාදී විස්තරත් හොඳින් බලා කියාගෙන ඉන්නාතරේ අර මුලින් ආපු හාදය අයෙමත් ඇවිත් මහත්තයට අපේ ස' පොඩ්ඩක් කතා කරනව කිව්වා.

මහත්තයට කාවද මුණගැහෙන්ඩ ඕනේ කිව්වෙ

චීෆ් රේඩියොලොජිස්ට්  මහත්තයව 

ඒ කිව්වේ 

ඔව් ඒ මහත්තය තමා 

මොකක්ද ඒ මහත්තයගෙ නම 

වික්‍රමරත්න 

ආ වික්‍රමරත්න ස' ද 

ඔව් එය තමා 


හලෝ මේ වික්‍රමරත්න ස' ද 

....

ස' ගේ රේඩියෝ එක හදන්ඩ මේ කෙනෙක් ඇවිල්ල ඉන්නව. එවන්නද?

----

මවුත් පීස් එක අතිං වහගෙන 

මහත්තයාගෙ නම මොකක්ද 

කුමාර් කියල කියන්ඩ 

....

...

හරි ස' යන්ඩ 


ඒ අව්අස්සෙ මගේ නම අද දිනය දැන් වෙලාව ලියූ පේලියෙ අස්සං කරන්ඩයි කියල CR පොතකුත් දුන්න. මගේ ගේට්ටු අස්සන 'ඕ.පු' එකත් සිංහලෙම්ම ලිව්වට පස්සේ ඇතුල්වීමට අවසර ලැබුනා. 'ඕ. හු.'  කියල අස්සං කරන වෙලාවලුත් නැතුවම නෙවේ.

දැන් ප්‍රශ්නේ හැට්ටර් කෝමද එක පාරටම කුමාර් උනේ.

වැඩේ මෙහෙමයි.

ඉස්කෝලෙදි චන්දරේ 

ඊළඟට ඉගෙනගත්ත තැන ලාස්ට් නේම් එක 

රස්සාවෙදි බොහෝවෙලාවට කුමාර් 

රටඉඳි කොම්පැණියේදී තව නමක් 

දැන් කතාකරන්නේ මගේ පුරුතුගීසි නමින් 

හා තව එකක් ඤාතීන් අතර වෙනත් නමක්! 

ඔන්න ඔය විදියට මාව අඳුන්වන ක්‍රමෙන් දන්නව කොතැන කොනෙක්ෂන් එකක්ද කියල හිටං.

Good afternoon, Sir.

Hello... good to see you, long time no see

Yeah, I am in the printing industry now.

එනිවේ, ඔන්න මැෂිම තියෙන කාමරේට ආව. පෙනුමේං නං අගේට තියෙනවා. ටෙම්පරේචර් හියුමිඩිටි රෙකෝඩර් වැඩ කරනවා, ඕවර් නෑ අන්ඩර් නෑ විතින් ලිමිට්. තෙකළා විදුලියත් කළාවට 230 වෝල්ට් ගානේ පෙන්නනවා, 50 හර්ට්ස් ගානට තියෙනවා. මේසයක් උඩ පුපුරලා ලොඳ එලියට පැනපු IGBT එකකුත් තියෙනවා.


ලොකු සර් මේකෙ සේවිස් රිපෝට් ටික බලන්ඩ ඇහැක්ද ?

ලතා මේ කුමාර් ස'ට සී ටී එකේ ෆයිල් එක ගෙනත් දෙන්න  

දැන් මැෂිම මොකක්ද කියල කිව්වනේ.

මේ පහළ තියෙන්නේ ඒ වගේ එකකින් ගත්ත පිංතූරයක්.

වමේ රෙෆරන්ස් ඉමේජ් එකේ තියෙන තැනින් හරහට කපල පලු කරාම පේන දේ තමා දකුණේ තියෙන්නේ.


Credits to radiologykey.com


දැන් කිඩ්නි එක මොකක්ද කියල අඳුනගන්ඩ ඇහැක්නේ හිටං. එතකොට ඔය සුදු පාටට තියෙන්නේ කිඩ්නියේ ගල් ඈ. (ඒව ඇත්තටම නම් සුදු නෑ නමුත් මේ පිංතූරෙ කළු සුදු නිසා ඕම තමා පේන්නෙ). කොහොමද මහා ධමනිය (Aorta) පරිස්සං කරලා තියන හැටි.


https://www.wikidoc.org/index.php/File:Staghorn-calculus-001.jpg

ම්ම් මේකේ මේ අන්තිම රිපෝට් නෑ නේ, අන්තිමටම තියෙන්නේ මාස තුනකට කලින් කළ වැඩක් නේ.

මම හෙට එන්නං අලුත්ම සේවිස් රිපෝට් ටික ඉල්ලලා තියන්ඩ ඇහැක්ද?

හරි මම රික්වෙස්ට් එකක් දාන්නං.

දැන් ඉතිං ඉදිරියට යන්න නං මේකේ මක්කැයි කරලා තියෙන්නේ කියල දැන ගන්ඩ එපාය.
ඉතිං සේවිස් රිපෝට් ආවම ඕක හදල ඉවරයක් කරලම දාමු.

(ඇත්තම කියනවනං මිත්‍රෝරුනි මේක ලියන්ඩ අතිශයම කම්මැලියි)


ජයවේවා!

Sunday, December 3, 2023

අශ්වයොත් දුවන්නේ මල්ලි මීහරක් වගේ

හෙවත් Myself 


Myself රචනාව දිගයි නමුත් කෑල්ලක් වත් ලියන්ඩ බලමු.

කීප දෙනෙක් නම් මේ හාල් කෑල්ල ගැන ටිකක් දන්නව, ඕ යේස් ඔරිජිනල් ගංකබරාස්ම තමා. නෝ ඩවුට් බඩී. නෝ ඩවුට්

රස්සාවල් නං ගනං කළොත් අඩුම ගානේ පාළහක් (fifteen) වත් දැනට කරලා ඇති, එක පාරක් මාව රස්සාවෙන් fire කරලත් තියෙනවා. ඔව් ජිවිතේ හැටි. ඔය රස්සා වලින් බොහොමයක්ම ලංකාවේ සහ වෙනත් රටවල ආණ්ඩු, ප්‍රාන්ත, පළාත් ආණ්ඩු වලට තමා වැඩ කරලා තියෙන්නේ. අනෙක් කාරණේ තමා මේ රස්සාවල් බොහොමයක් එකකට එකක් වෙනස් ෆීල්ඩ් වල වීම. රස්සාව ඉන්ටරෙස්ටිං නැත්තං මම එතන වැඩි කලක් රැඳෙන්නේ නෑ. ඒ අතිං මහා මුරණ්ඩු ජීවියෙක්. 

ප්‍රස්තුතයට අදාළ වන්නේ අවුරුදු විස්සකට විතර එහායිං වුනු සිද්ධියක්.

කොළඹට ළඟ එක්තරා ආයතනයක තිබ්බ හයිටෙක් යන්ත්‍රයක් ලෝකල් ඒජන්ට් එක්ක තිබ්බ අවුලකට එවුන්ව කපලා ඉන්දියාවෙන් OEM (original equipment manufacturer) ගෙ ඒජන්ට් එක්ක ඩිරෙක්ට් එකතු වෙලා ඒකෙ නඩත්තු වැඩ කටයුතු කරගෙන ගියා. ඇමරිකන් කොම්පැනියක් උනාට ඉන්දියාවේ ලොකු ඔපරේෂන් එකක් තිබුන එයාලගෙ.  

යම්කිසි වේලාවකදී මේකෙ ප්‍රශ්නයක් ඇවිල්ල OEM ඩොලර් ලක්ෂ දෙක හමාරක මුදලක් (මිලියන කාලක්) ඉල්ලනවා අවශ්‍ය ස්පෙයා පාට් ගෙන්වන්නට. ඒ කෑලි වලට පමණයි, සවිකිරීමේ හා අනෙකුත් ගාස්තු වලට අමතරව. මේ යන්ත්‍රය ඒ කාලෙ ඩොලර් මිලියන තුන හමාරක් හතරක් පමණ උනා.

එතැනදී යන්ත්‍රය හිමිකරුවන් ලෝකල් ඒජන්ට්ට නැවත කතා කරනවා මේක ගොඩ දාල දෙන්ඩය කියලා

ඒ අයත් ඇවිත් ඔව් මේකට අර කෑල්ල දාන්ඩ ඕනේ, අපිට උනත් එක ඇනවුම් කරන්ඩ වෙන්නේ OEM හරහාම පමණයි, ඒ නිසා ඒ අය එක්කම වැඩේ කරගෙන යනලෙස කියනවා.

හිමිකරුවනුත් වැඩේ අත අරින්නේ නෑ, මොරටුව යුනිවසිටියේ ලොකු මහත්තැන් දෙපලකට කියනවා මේක හදා ගන්ඩ උදව් කොරාන්ඩෙයි කියලා. එතන ඉලෙක්ට්‍රොනික් දෙපර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තුමන් දෙපලක් මේක අලම කරලා දානවා. ඉන්වර්ටරේ තියෙන හයි පවර් IGBT එකක් පුපුරෝලා හිටං, ඔය IGBT එකක් ඩොලර් 3000-5000 අතර මුදලක් වෙනවා. මැෂිමේ ඕව 4ක් තියෙනවා. කොම්පැණියෙන් අලුත් එකක් ගෙන්නාගෙන හයිකළත් දැන් මැෂිම වැඩ කරන්නෙම නෑ කියමුකො. ෆිනිතෝ.

දැන් ඒ ඩබල කොම්පැනියෙන් සේවිස් මැනුවල් ඉල්ලනවා, කොම්පැනිය ඒවා තුන්වන පාර්ශ්වයකට දෙන්න බෑ කියනවා.

කොයිමෙන් කොයිම හරි වැඩේ එතනිං එහාට ඇදෙන්නෙ නෑ.

දුන්නොත් හදන්නං කියනවා - අපිට දෙන්න බෑ කියනව.

ඔය අව් අස්සේ එතන ලොක්කට කවුරුහරි ගිනිගෙඩිය දීල තියෙනවා කොටා රෝඩ් එකේ තැනක ප්‍රින්ටිං ජොයින්ට් එහෙක හැට්ටර් කියල එකෙක් ඉන්නවාය ඌට නං ඕක ගොඩදාල දෙන්ඩ ඇහැක් වෙයිය කියල.

එයා ඇවිත් අපේ බොස්ට, මිස්ට RPට (මම කියන්නේ TRD - Toyota Racing Development නං නෙවෙයි) කතාකරලා උදව් ඉල්ලලා තියෙනවා.

හැට් මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා පුලුවන්නං කරලා දෙන්ඩ. ඕනේ නං වැඩ වෙලාවෙ ගියත් ප්‍රශ්නයක් නෑ කියල අවසර පත්‍රය නිකුත් කරනවා.

ඔන්න ඔතනදි තමා මිත්‍රෝරුනි හැට්ටර් එන්ටර් වෙන්නේ.

මොකාද මේ කුරුල්ලා කියල බලන්ඩ අතිං ඩීසල් ටැංකියකුත් ගහගෙන ඊළඟ දවසෙ වරුවෙන් මම පිටත්උනා just like  එළාර කිං එහෙං කමිං දුටුගැමුණු කිං මෙහෙං කමිං ක්‍රමේට

වෙන දවසක තව ටිකක් ලියමු  


Tuesday, November 28, 2023

Oh NO!


 

රසික සුරියආරච්චි සිනුවර සිට වාර්තා කරයි.

ස්තුතියි 


Saturday, November 18, 2023

TM හබීබි


සවුද් දුවනව කාලිඩ් උගෙ පස්සෙන් එලෝනව.

කාලිඩ්ට හොඳටම මල ඒ උනාට සවුද් නං පස්ස හැරි හැරි හක හක ගගා හිනාවෙමින් තමා දුවන්නෙ.

මේක සිද්ද උනේ මම අබ්දෙල්ල රජ්ජුරුවොංගෙ ආණ්ඩුවෙ රටඉඳි කොම්පැනියක රස්සාව කරන කාලෙ. බලන්ඩ එපැයි ඒකෙ ලෝගො එක විතරක්. රටඉඳි ගහ දෙපැත්තෙ කඩු දෙකක් හේත්තු කරල හිටං තව තව ගැජමැටික් ටිකකුත් දාල...   

කාලිඩ් ගැන කියනවනම් වෙලාවට වැඩට එන, තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන, ටී රූම් එකේ බයිලා ගායකයන්ගේ සංසදයේ සාමාජිකයෙක් නොවන, වැඩිය අනෙක් අය සමග බජනයට නොයන, එක්ස්ටර්නල් ඩිග්‍රියකුත් කරන, බෙන්ස් 260SEL එකක් පදින වැදගත් සවුදි තරුණයෙක්.

සවුද් කියන්නේ ඔය හැම එකකම අනෙක් පැත්ත.

හැබැයි  සවුද්ගෙ සමහර නීති නං අපිත් පාවිච්චි කළා. වන් මිනිට් මීන්ස් ලේට්, ටූ මිනිට්ස් ටූ ලේට්, තර්ටි මිනිට්ස් - මාෆි මුශ්කිලා (ඒ කියන්නේ නෝ ප්‍රොබ්ලම්).

කොහොම නමුත් සවුද් බොහොම දුර දිග බලලා වැඩ කරන කෙනෙක්. මිනිහගෙ පුත්‍රයාගේ නම මිතෙබ්. එතකොට මූව හඳුන්වන්නෙ, මූට සමහරවිට කතාකරන්නෙත් අබු මිතෙබ් (මිතෙබ්ගෙ පියා) කියල. මේකා දවසක් මට කියනව කොල්ලට නම දැම්මෙ බ්‍රින්ස් මිතෙබ් (මේ අය ඉංග්‍රීසි P අකුර ශබ්ද කරන්නේ B ලෙසට, උදාහරණයක් ලෙසට බොන්නෙ බෙබ්සි ලියන්නේ එක්කො බෙන් එකෙන් නැත්තං බෙන්සිල් එකෙන් ) කොල්ල ලොකු උන කාලෙක මිතෙබ් කුමාරය රජවෙයි, එතකොට අබු මිතෙබ් කියනකොට කාටද ආඩම්බර කියල.. සවුදි අරාබියේ මේ ලඟක් වෙනකංම රජකම ගියේ අයියගෙන් මල්ලිට ලෙසට.

මම මගේ කාමරේට එනව, සවුද් දුවගෙනම ඇවිල්ල කාමරේ ඇතුලෙන් ලොක් කර ගත්ත. මමත් එලියේ.

කාලිඩ් 'අන්තඃ කර්බාන්'  (මුගෙ ඔලුව හොඳ නෑ ) කියලා මූ දොර අරින පාටක් නැති නිසා තමන්ගේ මේසෙට ගියා.

ඒ පාර තමා සවුද් මට කාමරේට එන්න ඉඩ දුන්නෙ.

සවුද්ට වැඩ වැඩි උනාම අපේ කාමරේට ඇවිත් අපිට වාත වෙනව. එහෙම වෙලාවට අපේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් ඒකා. සිංහල වගේ කටහඬක් ඇහුනොත් සිංහලෙන් කතා කරනව ටිකක්, නම මොකක්ද, කොහෙද ඉන්නේ, කොතනද වැඩ කරන්නේ, කාටද කතා කරන්න ඕනේ වගේ දේවල්. වැඩේ ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට ඕකේ මම මෙයාට දෙන්නම් කියල අපි කාටහරි දෙනව. 

සවුද් බෙඩුයින් ගෝත්‍රයේ කෙනෙක්, ඒ කියන්නේ කාන්තාරෙ එඬේර පරම්පරාවෙ. ඒ ගැන බොහොම ආඩම්බරයි - රටේ අයිතිකාරයො අපි කියල තමා හැම තිස්සෙම කියන්නේ. අපි ඔටුවන්ගේ බුරුල්ලෙන් කිරි බීපු එවුං මේ නගරේ ඉන්න උං වගේ නෙවේ හොඳට හයි හත්තිය තියෙන උන් කියල තමා සවුද්ගේ කටේ තියෙන්නේ. ඒ උනාට අනිත් උංනම් කියන්නේ මුං මේ කාන්තාරෙන් ආපු පල් මෝඩයෝ මුංට මොළේ නෑ  කියලා.


මේ ඒක නෙවේ මොකෑ අර කාලිඩ් උඹව මරන්ඩ වගේ එලෙව්වෙ.

කාලිඩ්ගේ අම්ම  ඌට බැනල මම උඹව හැදුවෙ මේ වගේද කියල.

ඉතිං සවුද් උඹ ඒකට මක් කොරන්ඩැයි බං 

නෑ නෑ කාලිඩ්ගේ අම්මගේ ගෙදරට උඹලැයි රටෙන් හවුස් මේඩ් කෙනෙක් ඇවිල්ල ඉතිං කාලිඩ්ට ඕනේ උනා සිංහලෙන් ඇගේ නම මොකක්ද කියල අහන විදිය.

ඉතිං උඹ මක්කැයි කිව්වේ.

මම රොශාන් ගෙන් අහල තමා ඒක කිව්වෙ  හක හක හක

දිස් ඉස් ඉන්ටරෙස්ටිං, ඇයි උඹ රොශාන්ගෙන් ඇහැව්වේ උඹ හොඳටම දන්නවනේ නම අහන විදිය

ඒක රොශාන්ගෙම්ම අහගනිං  ආයෙමත්  හක හක හක 

දවාලෙ තේ එකක් බොන්ඩ ගියාම රොශානුත් එතන තේ බොනව.

රොශාන්, සවුද් ඊයේ උඹෙන් මක්කවත් ඇහුවද 

ඌටත් හිනා, ඔව් ඔව් අහපු එක මම කියල දුන්න. සවුද් ඒක කොලේක ලියාගෙනම ගියා.

සවුද්, දැන් උඹ අර කොලේ ලියාගෙන ගිය එකට මක්කැයි කොරේ 

ආ මං ඒක කාලිඩ්ට දුන්න 

ඒකෙ තියෙන විදියට කාලිඩ් ඒ ළමය ගෙන් නම අහල 

නම ඇහුව විතරයි කෙල්ල හනික දුවල ගිහිං කාලිඩ්ගේ අම්මට කියල 

එතකොට තමා කාලිඩ්ට අම්ම බැනල තියෙන්නෙ 

හරි හරි දැන් කියපන්කො උඹ කොහොමෙයි නම අහන හැටි ලියල දුන්නෙ 

තන මිරිකමුද කියල හක හක හක 


අම්මප සවුද් තෝ නං.......


මගේ හිතේ දැන් ලිව්වා ඇති කියල. සුමාන පතාම නොවුනත් ඇහැක් වෙලාවට ඉඳ හිටලා මක්කවත් ලියන්ඩ බලමු. Yeah buddy, That's how we do, how we do

ජයවේවා!
Myself Hattor


ඔය නම් තුනම ඇත්තම නම්. ඔතනින් අස් උනාට පස්සෙ කිසිම කොන්ටැක් එකක් නෑ.

හැබැයි රොශාන් මේක දැක්කොත් - අඩෝ හැන්ඩියා උඹට ඕක තාම මතකද කියල අහවි 

සවුද් මහ හයියෙන් හක හක ගාල හිනාවෙයි 

කාලිඩ් හෙමිං සීරුවෙ එතනිං ෂේප් වෙයි.

Sunday, November 12, 2023

ගෙදරදීම පහසුවෙන්...

ගුඩ් මෝනිං එකක් වේවා!


පහුගිය සතියෙ ලොකු කොම්ප්ලේන් එකක් තිබුණ B&W එකේ ලියන මගුල් තේරෙන්නේ නැත, අගක් මුලක් ගලපාගන්ඩ කොහෙත්ම නොහැක වගේ වගේ.. බලං යනකොට ඒ  කතාවත් ඇත්ත.. ඇත්තම කියනවනං B&W කියන්නේ බැරි වැඩ! 

එනිසා අම්ම මතක් කොරලා බයින්නෙ නැත්තං ගෙදරදීම පහසුවෙන් ඔබේ පෝරණුව ක්‍රමාංකණය (calibrate) කරන විදියක් කියල දෙන්ඩයි කල්පනා කළේ.

අලුතිම්ම ගත්ත හෝ ගෙදර තියෙන ඉලැක්ට්‍රික් අවන් එකේ උෂ්ණත්වය හරිද? ෆැරන්හයිට් (අපේ රෝයි සර්ගෙ ක්‍රමේට ෆාරන්හයිට්) තුන්සිය පනහට කේක් ගෙඩිය පිච්චුවම ඇයි හරියට පිච්චිලා නැත්තේ මක්කයි මේක අඟුරු වෙලා තියෙන්නේ. අපේ 'බාප්පියි පුංචි අම්මියි' චැනල් එකේ නං නියමෙට ගානට පිච්චිලා ආව. 

අවශ්‍ය ද්‍රව්‍ය:

වැඩ කරන තත්වයේ අවන් එකක් 


ඔරලෝසුවක්, ඒකත් වෙලාව දවසට දෙපාරක් විතරක් හරියට පෙන්නන එකක් නං එපා!

සීනි මේස හැන්දක් පමණ 

ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක් හෝ උෂ්ණත්වය ෆැරන්හයිට් 400ට (සෙන්ටිග්‍රේඩ් 200 ට) පමණ ඔරොත්තුදෙන පීරිසියක් වැනි දෙයක් 

මීට අමතරව මේ පරීක්ෂණයට විදුලිය යුනිට් කීපයක් ද වැයවේ 

තව  මක්ක හරි ඕනෙනං පස්සෙ කියන්නං.

ඕල් රයිට්, දැන් අවන් එක 340 F (170 C) ට රත් කරගන්ඩ

1. ගානට රත්වෙලා විනාඩි පහක් විතර ගියාම අර සීනි ටික ෆොයිල් එකේ හරි මොකේ හරි දාලා අවන් එක ඇතුලේ තියන්ඩ.

2. විනාඩි 15ට ටයිමර් එක තියලා, ඒ කාලේ ගියාම සීනි ටිකේ තත්වේ බලන්ඩ.

සීනි දිය වෙලා නැත්නම්, සීනි ටික පරිස්සමින් එලියට අරගෙන (ඒවා තදින් රත් වී ඇත!), උෂ්ණත්වය 350 F (175 C) දක්වා වැඩි කරලා හිටං පෙර පරිදි 1 හා 2 කර බලන්ඩ.

තාමත් සිනී දියවී නැත්නම් 360 F (182 C ) දක්වා වැඩි කර, පෙර පරිදි 1 හා 2 කර බලන්ඩ.

එලෙස ෆැරන්හයිට් 10 බැගින් ( සෙන්ටිග්‍රේඩ් 5 හෝ 6) බැගින් වැඩිකරමින් සීනි දියවේද බලන්ඩ 

පොතේ විදියට සීනි දියවන උෂ්ණත්වය 366 F එසේත් නැත්නම් 186 C වෙයි.

ඒ ක්‍රමේට සීනි දියවනවිට අවන් එකේ සෙට් කර ඇති උෂ්ණත්වය ඇත්තටම 366 F (186 C) වෙයි.

අපි වගේ පරණ කරකවන ඩයල් නම් ඩයල් එක ගලවා එය 366F (186C) පෙන්වන ලෙසට ඇජස් කරගත් යුතු වෙයි.

අලුත් එව්වා වල නම් යුසර් මැනුවල් එකේ ඔය ඩිස්ප්ලේ නොම්මරේ වෙනස් කරන ක්‍රමය ඇත.

හරියටම තිතට ඇජස් කරගැනීමට අවශ්‍යනම් එය ගෙදරදීම කරගැනීම වියදම් වන කාරණාවක් වනු ඇත.


මේවා බයිලා නම් මේවට කියන්නේ මක්කයි කියන්නේ නම් කෘතඥ වෙමි.

කාලය ධනය වියදම් කරගෙන මෙහි පැමිණි ඔබ සැමට ස්තුතියි!


ජයවේවා!

Myself Hattor


Sunday, November 5, 2023

පස්සට රිවස්

ගුඩ් මෝනිං එකක් වේවා මිත්‍රෝරුනි, ගුඩ් මෝනිං!


පහුගිය සතියක   හයිවේ ඉබ්බා කතාවේ අපේ හිතවත් කැප්ටන් විජේබාහු මේම කොමෙන්ට් එකක් කොටලා තිබ්බ.

ඒ කෙසේද යත්:

මම දැකපු හොඳම අධි වේගේ පස්සට රිවර්ස් කිරීම ගැන, දවසක් මම බැංකොක් අධි වේගේ ටැක්සි එකක යනකොට මැන් වැරදි exit එක ගත්තා, පහල පාර දැක්කම මැන්ට වැඩේ තේරුණා, මු ටක් ගාල පස්ස බලලා මිටර් සීයක් විතර වන්ගුවේ අධි වේගේටම රිවර්ස් කරානේ.

අනේ මේ, ඔයාගේ මේ රථ වර්ණනාව අපේ රථගාය වැඩි වෙනවනේ.

අම්මට සිරි, මම විජේබාහු 

උපුටා ගැනීම අවසන් 


රිවස් කිරීම ගැන කිව්වම මටත් පරණ කතාවක් මතක් උනා.(ෆෝවඩ් කෝම උනත් රිවස් එකට සෙකන්ඩ් වෙනවද අපි! බණ පොතකවත් අහල තියෙන දෙයක්ද )

ඩිස්ක්ලේමර් එක: ඕකේ දැන් ටෙස්ල පදින අය ඔටෝ ගියර් පාවිච්චි කරන අය සමාවෙලා වෙන මක්කාවත් බැලුවනං හොඳා.

අපි වගේ ලඩි පැද්ද, දැනටත් පදින හා පදින්න බලාපොරොත්තුවෙන අය නං බැලුවට අමනාපයක් නෑ ..

කාලෙකට ඉස්සර දවසක්දා වෙඩිමකට යන්ඩෝනඋනා අපේ බෙටර් හාෆ් එකට. නොට් සෝ බෙටර් හාෆ් එකටත් එක්කම තමා ඉන්විටේෂම. සූට් එකක් දාගත්තෙ කාලෙකට පස්සෙ කියන්ඩමත් බෑ මොකද ඒ කාලේ ළඟ ළඟ අර ටීම් එකේ කට්ටිය වෙඩින් ගන්නවා.

දැන් ඔන්න වෙඩිම තිබුණෙ නිට්ටඹුවේ රණතිසර එකේ. තනිකඩ කාලෙ වගේ කෑම වෙලාව ලංවෙලා ගොහින් හිටං තැන්කිව් කියල ඒ වැඩේට සෙට් වෙන්ඩ බෑ කාන්තා පාර්ශ්වයට ෆුල් සෝ එකම බලන්ඩ ඕනේ ජෝඩුව එන එකද පෝරුවද අරකද මේකද අරයගෙ මේකප් එක මොකක්ද කොහෙන්ද දාල තියෙන්නේ, අර සාරිය තව ටිකක් ලාපාට කලස් වලින් ගත්තනං ෂෝක්  හෝල් නයින් යාඩ්ස් ම ඕනේ.

දැන් ඔන්න රෙජිස්ට්‍රාර් නෝනත් ඇවිත් වැඩේ ඔෆීශියල් කරලා හිටං ලයිසම අතට දෙන්ඩ ලෑස්තිය.

ම්හු නෝ ඇක්ෂන්,

රෙජිස්ට්‍රාර් නෝනා වටපිට බලනව, මනමාලිගේ කට්ටිය කලබලවෙලා වගේ පේනව.

මේ.... ප්‍රදීපල තාම නෑ නේ එයාගෙ හස්බන් ලු සාක්කියට අස්සං කරන්න ඉන්නේ.

ඔව් නේ බුවා පේන්ඩ නෑ නේ.

රෙජිස්ට්‍රාර් නෝනට තව වෙඩිමකටත් යන්ඩෝනලු. හුකා කෝ තොප්පි කිව්වලු! අස්සං බුවා තාම නෑ නේ.

මෙන්න මේ අස්සේ බ්‍රයිඩ්ගේ අක්ක ඇවිත් මට ආරාධනා කරනවා මල්ලි ඔයා මේ කසාදෙට අස්සං කරන්ඩ කියල.

මේ උන්දැ දැක්කෙත් අදමයි, මනමාලි දැක්කේ අද උදේ මෙතනට ආවට පස්සෙ .පෝරුවෙ ඉන්නකොට.

හැබැයි උදේ මට දන්නා අඳුනන පොරක් හම්බෙලා කතාකළා, මෑන්ස් අපේ වැඩපළට යන එන කෙනෙක්, අක්කගේ හස්බන් තැන!. ඌ දන්නවා මගේ නොම්මරේ.

යන්න යන්න කියල නිසි බලධාරයගෙනුත් ඕඩස්. (කැප්ටන්ගේ වයිෆ් කර්නල් ලු නේ. නැද්ද )

යේස් මෑම්.

ඉතිං ඕන කජ්ජු ගහක් යටිං කියල මාත් ගොහිං වාඩිඋනා.

අස්සං කරන්ඩ ඔන්න මෙන්න .. මට පේනව අර ඩබල සීන් එකට එන්ටර් වෙනවා.

මං පොරව දන්නව. අපේ අයිය වැඩකරන තැන මිකැනිකල් ඉංජිනේරුවෙක්. උඹම ඕක කරපං තාලෙ ගෙස්චර් එකක් දාගෙන ඌ මාරුඋනා. දැන් ලයිෂන් එක ඉෂූ කරලා සුබ පතලා තැන්කිව් කියලා එතනින් මාරුවෙනකොට අහවලා මට ලඟිම්ම පුටුවකුත් තියාගෙන කතාකළා.

මචෝ මාර වැඩේ නේ උනේ. කාරෙකේ රිවස් එක වැටෙන්නේ නැතුව ගියානෙ බං. පිට්ටනියක් හම්බෙනකන් නුවර පාරේ ඈතට හිහිං යූ ටර්න් එකක් ගහන් ආවෙ. 

හ්ම්ම්  (පිට්ටනිය තියෙන්නේ ගෙදර වෙන්ඩෑති. මුං දෙන්න බැඳලා තාම මාසයක් නෑ.  මවුගේ එක්ස්කියුසස් )

මේ මශ්ශිනා උඹ කලිං නං යන්ඩ එපා සුදෝ. අනේ මේ හැමෝම යනකං ඉඳල තරානැතුව මේක පොඩ්ඩක් තල්ලුකරලා දීපං මචෝ මට හරවගන්ඩ.

හ්ම්ම් (කාල බීල අහක්කවෙලා ටයි කෝටුත් දාගෙන කට්ට අව්වෙ තල්ලුකොරාන්කෝ කාර්)

අනේ මචෝ උඹ ඉන්නව නේද?

බේරුමක්ම නෑ 

ඕකේ. මොකක්ද උඹේ රතේ 

මචං මොරිස් මරීන එකක් 



යතුරත් අරං වරෙන් පොඩ්ඩක් 

හා යමං 

මේ මේ කොහෙද ඔය දෙන්න හෙමීට යන්නේ. ස්ටීරියෝ නාදයක් 

මේ අපි පොඩ්ඩක් පහළට යනවා.

ප්‍රදීපා අපි කාර් එක ගාවට යනව අර රිවස් එකෙ ප්‍රස්නෙ බලන්න 

ගියා කාර් එක ලඟට.

යතුර දියං 

නැග්ග

ස්ටාට් කළා 

රිවස් ගියර් එකට දැම්ම 

කාරෙක රිවස් කරලා මූන පාර පැත්තට දාල නැවැත්තුව.

මෙන්න උඹේ යතුර.

දැන් තල්ලු කරන්ඩ ඕන්නෑ ඉස්ටාට් කරගෙන ඉස්සරහර පලෑන් 

මේ මේ උඹ කොහොමද රිවස් එකට දැම්මෙ 

යකෝ මායි ප්‍රදිපයි කොච්චර මාන්සි උනාද රිවස් එකට දාගන්ඩ (මං නොදන්න මාන්සිය)

උඹ අදද මේක මුලිම්ම එලෙව්වේ 

නෑ බං මම ට්‍රයල් පෙන්නුවෙත් මේකෙං 

ප්‍රදීපා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් ට්‍රයල් පෙන්නුවෙත් දෙකම මෙකෙම්මයි 

අම්මප!

එතකොට ඒකාලෙ රිවස් එක වැඩකළා ?

මේ ඒවයින් වැඩක් නෑ උඹ රිවස් එක දාපු විදිය කියපං 

මමම ඕක කියන්ඩ ඕන්නෑ 

ගොහිං ගියර් නොබ් එකේ (බෝලෙ) කොටල තියෙනෙවව බලපංකො. R අකුර ළඟ හොඳ සෝදිසියෙන් බලපං මචං.

කාරෙක ස්ටාට් උනා. මෙන්න කාරෙක පස්සට යනව.

මචං වැඩේ හරිද 

ඔව් බන් R එක ළඟ ඒකෙ රිවස් එක දාන විදිය ඇඳල තියෙනවනේ! 

දැන් උඹල දෙන්නම මේක එලෙව්ව. ට්‍රයලුත් දුන්න මේකෙම්ම!!

නෝනාවරුනි මහත්වරුනි ඔය සමහර පරණ වාහන වල රිවස් ගියර් එක එක්කෝ උඩට උස්සල එහමත් නැත්නම් පහලට තදකරලා තමා දාන්ඩ තියෙන්නේ.

එම නිසා ගියර් බෝලෙ ඕක මක්කහරි විදියකට කියල තියෙනවා.

සමහර  බ්‍රිටිෂ් හා ප්‍රංශ කාර්වල pull up රිවස්  පොක්ස්වාගන් වල පුෂ් ඩවුන් රිවස් 





මගේ මිත්‍රය පහුකාලෙ මට ඇරිය ඇරිල්ලක් හිතෝතුනි කොහොමද දන්නවද කලිසම තියෙද්දීම!

තමන්ගේ වටිනා කාලය වැයකරමින් මේ බයිලා ඇසූ ඔබට බොහොම ස්තුතියි.

ජයවේවා!
Myself Hattor