Friday, December 15, 2023

ටෝක් එක බැලන්ස් කරන්ඩ ට්‍රිප් එක යෑම

ටෝක් එක කිව්වෙ ඉංග්‍රීසියෙන් torque කියන දේට. සිංහල පාරිභාෂික ශබ්ධකෝෂයේ නං මං හිතන විදියට මේකට කියන්නෙ ඝූර්ණය. ඝූර්ණය වචනෙත් අලුතෙම්ම හදපු එකක් නිසාත් ඒකෙ අපි දන්නා විදියට තෝරගන්ඩ, සමාන කරලා බලන්ඩ  මක්කවත් නැති නිසාත් ටෝක් කියන එකම පාවිච්චි නොකෙරුවෙ ඇයිද කියල මටනං තේරෙන්නේ නෑ. ඒත් සිඩ්නි සිනුවර කරපු අපේ ඓයලට මේකත් මහා කජ්ජක්ද ආයුබෝවන්ඩ.

ටැක්නිකල් අංශෙදි අපි මේ ටෝක් එක හඳුන්වන්නෙ   (ග්‍රීක භාෂාවෙ 'ටෝ ') කියන සුරතල් නාමයෙන්. 

අපි කරකැවෙන එහෙමත් නැත්නම් භ්‍රමණය වෙන යන්ත්‍ර ගැන ඉගෙනීමේදී ;

P * ω 

මේ සමීකරණයේ P (Power) බලය ලෙසත්,   - ටෝක් එක ලෙසත්, ω (ග්‍රීක් අක්ෂරය (lower case -සිම්පල් )ඔමේගා ) angular velocity හෙවත් ආන්ත්‍රික ප්‍රවේගය (තත්පරයට රේඩියන් වලින් මනින ලද ) ලෙසත් පාවිච්චි වෙන්නේ.

තව ටිකක් පහසු කළොත් 

ω = 2 * π * n 

π නම් ඉතිං අපි දන්න පයි ම තමා (22/7 එසේත් නැත්නං 3.1416), එතකොට n කියන්නේ තත්පරයට කරකැවෙන වට ගණන.

P * 2 * π * n 

දැන් ටිකක් මේක ඇංජිමකට, රෝද කරකැවෙන ටැට්ටරේකට එහෙමත් නැත්තං බයිෂලේකට උපමා කරලා බලමුද.

අපි තැනිතලා පාරේ වේගයෙන් පදිනවා. ඒ ගානටම මාන්සි වෙලා ඒ ගානටම දාඩිය දාගෙන පෑගුවත් කන්දක් එහෙම නැත්නම් නැග්මක් එච්චර වේගෙන් යන්ඩ බෑ. කන්දක් අදිද්දි ගුරුත්වාකර්ශනෙයි අරකයි මේකයි කියල ආපස්සට අදින බලවේග තියෙනව. එතකොට එව්ව මැඩපවත්වගෙන ඉදිරියට එහෙමත් නැත්නම් උඩට යන්ඩ ලොකු ටෝක් එකක් අවශ්‍යයි. එතකොට අපේ අර දාඩිය දාගෙන පදින බලය එකම නම්, ටෝක් එක වැඩි උන කළ, n හෙවත් තත්පරේට රෝදෙ කැරකෙන රවුම් ගාන අඩුවෙනවා.

උදාහරනෙකට මෙහෙම බලමු 

ඔන්න P * 2 * π * n 

දෙපැත්තම (*2* π)  වලින් බෙදුවොත් 

P                2 * π * n 

(*2* π)             (*2* π) 

දකුණු පැත්තෙ කැපෙන එව්ව කැපිල හිටං

P               

(*2* π)             


දැන් හිතමු තැන්නේ යනකොට බලය යුනිට් 40ක් දානවා කියල 
අපිට ඒ පදින්ඩ ටෝක් එක 5 ක් අවශ්‍ය වෙනවා නම් 
රෝදේ වේගය වන්නේ 
40                   = 1.2732
5 * 2 * 3.1416 

තත්පරයට රවුම් 1.273 - ඒ කියන්නේ තත්පරේට රවුමයි කාලක් වගේ 


එතකොට හිතමු කන්දෙ පදිනකොට එම බලයම එනම් යුනිට් 40ම  දානවා කියල 
දැන් අපිට ඒ පදින්ඩ ටෝක් එක 10 ක් අවශ්‍ය වෙනවා එතකොට 
රෝදේ වේගය වන්නේ 
40                     = 0.6366
10 * 2 * 3.1416 


තත්පරයට රවුම් 0.6366  - ඒ කියන්නේ තත්පරේට රවුම් බාගෙකට ටිකක් වැඩියි 

කන්දෙ ආනතිය තවත් වැඩිනං බයිෂලේ පැදගන්ඩ බැරුව නවතිනව. ඒ කියන්නෙ තව දුරටත් පදින්ඩ අවශ්‍ය ටෝක් එක අපේ උපරිම බලයෙන් සපයාගන්ඩ බෑ.
 
වාහනේක උනත් ලෝඩ් එක අධිකව දාල එක්කො යන්ඩම බෑ නැත්තං බෝම හෙමිං ගමන.
ඔය යන අතරෙ පාරෙ නැග්මක් එහෙමත් නැත්තං තව හයියෙන් යන්ඩ ඇංජිම තව රේස් කළාම ඇංජිම නවතිනවා විතරක් නෙවේ බොහෝවිට ක්‍රෑන්ක් එකත් කැඩිලා යනවා.

ජෙනියකට එහෙමත් නැත්තං විදුලි ජනක යන්ත්‍රයක් ගත්තොත් බලය සපයන්නේ එක්කො ටර්බයින් (ගෑස්, වාෂ්ප එහෙමත් නැත්තං ජල විදුලි) එකකින් නැත්තං තෙල් වලින් දුවන ඇංජිමකිං. 

විදුලිය සම්බන්ධව අපි මූලික සමීකරණ දෙකක් කතාකරනවා.

ඕම්ගේ නියමය 

V = I  * R 

V - පරිපථයේ විභව අන්තරය, ගෙදර නං 230 වෝල්ට් (ප්‍රත්‍යාවර්ථ ධාරා, AC හෙවත් Alternating current)  , කාර් එකේ 12 වෝල්ට් (සරල ධාරා, Direct current හෙවත් DC ) විදියට 
I - පරිපථයේ ගලන විදුලි ධාරාව , ඇම්පියර් වලිං  
R - පරිපථයේ ගලන ධාරාවට ඇති ප්‍රතිරෝධය , ඕම් වලිං 

දෙවනුව 
P = V * I 

මෙතන V, I පරණ දේම තමා, නමුත් P කියන්නේ Power එසේත් නැත්නම් ජනිත කරන බලය , වොට් වලිං 

දැන් පොඩි උදාහරණ කීපයක් අරං බලමු 

එක්තරා සේකිට් එකක 230V AC සප්ලයි එකක් ඇතැයි සිතමු 
අපි ඒකට වොට් 1000ක හීටරයක් ප්ලග් කළා කියමු 

දැන් P =V *I  අනුව 
1000=230 * I 
I =1000/230
I = 4.348 ඇම්පියර් 
ඒ සේකිට් එකේ ඇම්පියර් 4.348ක ධාරාවක් යනවා. 

ඒ සමගම ඕම් නියමය අනුව 
V =I *R 
230=4.348 * R 
R=230/4.348
R =52.898 ඕම් 
ඒ සේකිට් එකේ ධාරාවට  ප්‍රතිරෝධය ඕම් 52.898 ක් වෙනවා.

අපි හිතමු මේ හීටරේ ෂෝට් උනා කියල.
ඒ කියන්නේ ප්‍රතිරෝධය ඉතාම අඩු උනාම,  එහෙමත් නැත්තං හීටරේ ඇතුලේ සප්ලෛ වයර් එක නියුට්‍රල් එකේ ගෑවිලා.
එතැනදී තියෙන්නේ ඉතාම අඩු ප්‍රතිරෝධයක්, හිතමු ඕම් 0.01කියල 
මේ වෙලාවේදී ගලායන ධාරාව I ගණනය කලොත් 

230 = I * 0.01
I=230/0.01
I = 23000 ඇම්පියර් 

ඇම්පියර් විස්ස තිහ යන්න හදපු වෑර්වල ඒ වගේ දහස් ගානක් යන්ඩගියොත් ඒව ගිනිගන්නවා. ඒ වගේම ක්ෂණික අධික කරන්ට් එක නිසා පරිපථයට සම්බන්ධ කරලා තියෙන උපකරණ වලට හානි වෙනවා. අන්න ඒක නවත්තන්න තමා සේකිට් එකේ ජම්බුගස් තියෙනවනං පියුස් (විලායකය) ද එසේත් නැතිනම් සේකිට් බ්‍රේකර් ද දමන්නෙ.

ජම්බුගස්මුල්ල 


සේකිට් බ්‍රේකර් 


මේ සංසිද්ධිය හැම විදුලි පරිපථයකටම වගේ පොදුයි.

අදාළ ප්‍රමාණයට වඩා වැඩි කරන්ට් එකක් පරිපථයේ එන විට පියුස් එක මැදින් පිච්චීමෙන් හෝ සේකිට් බ්‍රේකර් එක ට්‍රිප් වීමෙන් අදාළ පරිපථය විවෘත වෙනවා. කරන්ට් එකට ගමන්කිරීමට නම් සංවෘත පරිපථයක් අවශ්‍ය නිසා මේ අවස්ථාවේදී උපකරණය ක්‍රියා විරහිත වෙනවා.

කොත්මලේ ඉඳල බියගමට එන ලයින් එක මෙගාවොට් 500 ක විතර බලයක් රැගෙන එන්නෙ වෝල්ට් 220000 ම (220kV) විභවයකින්. P =V *I  අනුව එහි ඇම්පියර් 2000කට වැඩි කරන්ට් එකක් පාස් වෙනවා. ඕක සේකිට් හතර පහක තමා එවන්නේ, ඒ කියන්නේ එක සේකිට් එකක ඇම්පියර් 500 ක් විතර එනවා. ඔය එක ලයින් එකක් ෂෝට් උනොත් මිත්‍රෝරුනි මතකනේ ඇම්පියර් හතරෙන් දුවන හීටරේ ෂෝට් උනොත් ඇම්පියර් විසි දාහකට වඩා ගන්නවා කියල. මේක ඇම්පියර් 500 ක් විතර ෂොට් උනොත්...

ඔහොම ෂෝට් උනොත් ජෙනරේටරේ බේරගන්ඩ ලයින් එක ට්‍රිප් වෙනවා. එතකොට ලයින් එකේ කරන්ට් එකක් එන්නේ නැත.
ඔය වගේම තමා ලයින් එක මගදී කැඩුනොත්. එතකොටත් ලයින් එකේ කරන්ට් එකක් එන්නේ නැත.

ඔය කොත්මලේ-බියගම ලයින් එක අකුණු වලටත් බෝම ප්‍රසිද්ධ එකක්. හොඳවයින් අකුණක් වැදුනොත් ලයින් එක ට්‍රිප් වෙනවා.

මං හිතන තරමට ලංකාවෙ විදුලි ඉල්ලුම මෙගාවොට් 2500-3000 අතර වෙනවා, මෙතනිං මෙගාවොට් 500ක් ක්ෂණිකව අයින් උනා කියන්නේ ඉතුරු ජෙනරේෂන් ප්ලාන්ට් වලට ඒ ඉල්ලුම ක්ෂණිකව සපයන්ඩ වෙනවා (දෙමටගොඩ සිස්ටම් කොන්ට්‍රෝල් එකෙන් වෙනත් ප්ලාන්ට් සම්බන්ධ කරන තෙක්).

ඔන්න එතකොට ඒ වැඩිඋන ලෝඩ් එකට සරිලන විදියට ටෝක් එක දෙන්ඩ ඒ ජෙනි වල වේගය අඩුවෙනවා. එතකොට පද්ධතියේ සංඛ්‍යාතය - system frequency එක 50Hz ට වඩා අඩු වෙනවා. එක අඩු වෙච්චි ගමං ඒ හේතුව නිසා ඒ ප්ලාන්ට් ට්‍රිප් වෙන්ඩ ගන්නවා. ඔන්න රටම අඳුරේ.
ගෙදර ලයිට් ගියාම, ලයිට් එන්ඩ කලිං සේරෝම වගේ උපකරණ ඕෆ් කරලා ලයිට් ආවම නැවත එක එක ඔන් කරන් යන එක හොඳ පුරුද්දක් වගේ මේ ට්‍රිප් වෙච්චි ප්ලාන්ට් නැවත සිස්ටම් එකට එකතු කරන එකත් බෝම සීරුවට කළ යුතයි.

විදුලි ඉංජිනේරු විද්‍යාවේ අන්තිම අවුරුද්දේ විතර ඕව වෙන හැටි කරන හැටි සේරම උගන්නනවා.
ඒ විතරක් නෙවේ ඔය නිතර කැඩෙන අකුණු වැදෙන ලයින් එක්ක වැඩ කරන හැටිත් ඔහොම නොවෙන්න වැඩ සලස්සන විදියත් උගන්නනවා.

එක්කො මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො ඇත්තටම විදුලි ඉංජිනේරුවෝ නෙවෙයිද කියල කවුද දන්නෙ, සමහරවිට විහිලු ඉංජිනේරුවො වෙන්ඩෑති.

ඩිස්ක්ලේමර් එක: ඔය V=I*R, P =V*I වගේ සමීකරණ සෑම තත්වයටම සර්ව සධාරණ නැති බවත්, මේ වගේ පොඩි පහේ එක්ස්ප්ලනේෂන් එකකට නම් ඕ කේ බවත් කියා සිටිමි.

මේ සෙනසුරාද ට්‍රිපක් යන්ඩ සිටින නිසා ශනි මොකද සිකුරු මොකද කියා අද දැමූ බවත් එදාට මක්කහරි ටෝකක් දාගන්ඩ ඇහැක්ද කියා බලමු කියා මෙයින් නවතිමි.

අසා සිටි ඔබ සැමට ස්තුතියි 

29 comments:

  1. //ඔය නිතර කැඩෙන අකුණු වැදෙන ලයින් එක්ක වැඩ කරන හැටිත් ඔහොම නොවෙන්න වැඩ සලස්සන විදියත් උගන්නනවා//
    මේගොල්ලනං හොඳට ඉගෙනගෙන තියෙන පාටයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ලේකම් තුමාට කියන්ඩ, ඔව්ව උගන්නනකොට සීත රටවල වගේ ලයින් එක උඩට අයිස් වැටුනොත් කියල (ඇත්තටම කිව්වොත් කලාතුරකින් සීත රටවල ඒක වෙනවා!) ඒකටත් එක්ක ලයින් ඩිසයින් කරන්න පවා උගන්නන්නේ. ඒ කියන්නෙ ඒ රටවල උන්ට වැඩිය අඩුවෙන් මෙහෙ උගන්නන්නෙ නෑ. හැබැයි උන්ගේ රටවල ඕම දෙකයි පනහෙ වැඩ කරපු බ්‍රේක් ඩවුනුත් නෑ.

      Delete
  2. අද කතාවනං පංකාදු පහට නොතේරෙන උන්නෑහේලටත් තේරෙන්ඩ කියාදීලා තියේනවා. එත් කෝ ලොක්කා අර පරණ කතන්දරේ? ඒක අර පදුරු රවියාගේ කතන්දරවාගේ මගදි අන්තරාස්දහන් නොවේවා කියා පතමු.

    My self කෙළොම්පුරේ අසංග

    ReplyDelete
  3. පියුස්, සර්කිට් බ්‍රේකර්, ශොර්ට් සර්කිට් කරන්ට් කොටස තේරුනා. V=IR, P=VI ඩිස්ක්ලේමර් එක තේරුනේ නෑ, මේ කියන්නෙ ඉම්පීඩන්ස් සහ පවර් ෆැක්ටර් එහෙමත් සැලකිල්ලට ගන්න ඕනෙ කියන එකද?

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ෆ්‍රීකුවෙන්සි එක වැඩිවෙනකොට V=IR එකට තියෙන අනික් ටර්ම්ස් ඇක්ටිව් වෙනවා (+1/f (බ්ලා බ්ලා)) වගේම I වෙනුවට කරන්ට් ඩෙන්සිටි එකෙං ගන්න සමිකරණේ නිවැරදි වෙනවා. ඇත්තටම ඇපරන්ට් පවර් වගේම පවර්ෆැක්ටර් ඒව මේවත් ඕන වෙනවා. ලොකු ස'ට කියන්ඩ ගෙදර උපකරනෙක සේකිට් එකේ මුලිම්ම තඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා කියල. ඕකේ රෙසිස්ටන්ස් එක මැන්නොත් ඕම් දහයට අඩුයි. 110V වලට ගැව්වම අඩුම ගානෙ ඇම්පියර් 10ක් වත් අදින්ඩ ඕනේ ඒත් මැන්නොත් ඇම්පියර් දෙක තුනක් ගත්තත් ලොකු දෙයක්. මම පස්සෙ ඔව්ව ලියන්නං ස'

      Delete
    2. ආන්න ජංසන්. ඒ ටික තමයි වටින්නෙ. මට ඕනෙ 400KHz ස්විචින් ෆ්‍රීකුවෙන්සි එකෙන් වැඩකරන SMPS එකේදී මොකද වෙන්නෙ කියල දැණගන්න. මගේ මිනුම් බොහොමයක් V=IR, P=VI මත පාදක වෙන නිසා, මම මනින්නෙ වැරදියටද මන්දා?🤔

      Delete
  4. Replies
    1. මේ කෙටි කමෙන්ටුව දීර්ඝ කතාවක් කියාපායි.
      මයි සෙල්ෆ්
      බස්සා

      Delete
  5. මට මතක විදිහට ටෝක් කියන එකට සිංහලෙන් තියෙන වචනේ තමයි ව්‍යාවර්තය කියන එක. ඝූර්ණය කියන්නේ මෝමන්ට් යන ඉංග්‍රීසී වචනය විස්තර කරන්න. මේ වචන දෙකම එක වගේ තමයි. දෙකේම නිව්ටන් මීටර වලින් තමයි මනින්නෙත්...ඒත් ටෝක් කියන වචනය භාවිතා කරන්නේ වෘත්ත චලිතය ආශ්‍රිත විස්තර කිරීම් වලදි. මෝමනට් නැත්නනම් ඝූර්ණ්ය බොහෝ විට රේඛීය චලිතය ආශ්‍රිතව භාවිතා කරන, නැත්නම් ස්ථිතික සමතුලිතාව වැනි දේ විස්තර කරන කොට භාවිතා වෙන වචනයක්...

    ඔය ටෝක් එක සහ කැරකැවෙන් රවුම් ගාණේ සම්බන්ධය සාමාන්‍ය ජීවීතයේ හොදටම පේන්නෙ තියෙන්නෙ තැනක් තමයි බයිසිකල් පැඩල් එක. ලොකු දැති රෝදේට පැඩල් එක සම්බන්ද වෙලා තියෙද්දි කුඩා දැතිරෝදෙට පිටු පස රෝදේ සම්බන්ඳ වෙනවා. කදු නගින කොට ඕකේ අනිත් පැත්ත....


    මලකඩ කාල තිබ්බෙ දේවල් නැවත් මතක් කරලා දුන්නට තැන්කිව් එක්ක හැට්ටර් - Mayya

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ව්‍යාවර්තය මට අලුත් වචනයක්. ඝූර්ණය = මෝමන්ටම් බව නං බඩේ බත් ඩිංග වගේ බුදු ෂුවර්.

      Delete
    3. තව ටිකාක් පැහැදිලි කරගනිමු.

      momentum කියන්නේ m *v . (mass * velocity ). එක වෙනම දෙයක්

      moment කියන්නේ d *F (distance * force ), මේක linear, static. මේකෙ ඒකකය Nm , සීසෝ එකේ තරාදියේ වගේ. ඔබ්ජෙක්ට් එක බෙන්ඩ් කරන්ඩ

      torque කියන්නේ r*F (radius * rotational Force) මේක rotational. මේකෙ ඒකකය Nm/ revolution , ඇණයක් රෙන්ච් එකක් දාල ගලවනකොට වගේ. ඔබ්ජෙක්ට් එක ට්විස්ට් කරන්ඩ.

      බල උත්පාදනයට පාවිච්චි කරන්නේ ටෝක් එක, මොමන්ට් එකකින් බලය උත්පාද කරන්ඩ බෑ

      ඕවයේ සිංහල වචන අපි පාඩම් කරගත්තට අපිට වචනේ තේරුමක් නෑ.
      හොඳම කතාව මං ඇහුවේ එංගලන්තේ ඩිෆෙන්ස් එකේ රිසචර් කෙනෙක්ගෙන්.
      මෑන් මගෙන් ඇහුව උසස් පෙළට භෞතික විද්‍යාව සිංහලෙන්ද ඉගෙනගත්තෙ කියල.
      ඔව් කිව්වා ඉතිං, නැතුව අපි වෙන මොන භාෂාවෙන්ද ඕක ඉගෙනගන්නෙ.
      එතකොට කියනවා you guys are great කියල.
      එයාට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිනිසා පියාට කිව්වලු මට මේක උගන්නන්න ඕනෙනං අඩුගානේ ඉන්දියාවේ ඉස්කෝලෙකට හරි දාන්ඩ කියල.

      Delete
    4. මේක හරි. moment , සහ momentum කියන්නේ දෙකක් . මේකෙන් මටත් කතාවක් මතක් වුනා. ඊලඟ බ්ලොග් ලිපියට. ස්තූතියි හැට්ටර්

      Delete
    5. මා හරියයි සිතා සිටි බොහෝ දේ වැරදි බව දැන් වැටහෙනවා. පැහැදිලි කිරීම ගැන ස්තූතියි.

      Delete
    6. ඊයේ (09) දිනයේ දිවයින පුරා විදුලිය විසන්දි වීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ නිල ෆේස්බුක් ගිණුමේ පල කර තිබු සටහනකි.

      ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

      ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 – 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

      ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල

      විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 – 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

      අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

      මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.

      ස්තූතියි

      CEB News – ලංවිම පුවත් ------Mayya

      Delete
  6. හරියට හරි. මුළු ඔක්කොම මුළ ඉඳං අගට එක හුස්මට කියෙව්වා. ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑර ඔක්කොම තේරුණා ලෙසට ම!

    ReplyDelete
    Replies
    1. ලොකු සර් ඔය ඇත්තම නං කිව්වේ බෝම සන්තෝසයි.
      ඉගැන්නිල්ල මට ඇත්තටම පිහිටලා නෑ.
      ඒත් ට්‍රයි කරනවා.

      Delete
    2. නෑ හැට්ටර්. මං කියෙව්වෙ නෑ. මට හදිස්සිය හින්ද ද මංදා, තේරුණේ නැති ලයින් එකක් ආව. ඒක බොගෙ ඉගැන්නිල්ලෙ අවුලක් නෙමෙයි, මගෙ කියවීමෙ අවුලක්.

      Delete
  7. නියමෙට විස්තර කරලා තියනවා. හැට්ටරේ පට්ට විදුලි ඉංජිනේරුවෙක් බව දැන් සහතිකයි

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනං සර් මං කවදාවත් විදුලි ඉංජිනේරුවෙක් විදියට වැඩ නං කරලා නෑ.

      Delete
    2. ඒ වුනාට සර් ඔයා හොන්දට් ඒක පැහැදිලි කරලා තියනව.

      Delete
  8. හැට්ටර් මල්ලි, ග්‍රීක් වගේම තේරුණා ඉස්කෝලේ මේවා කියල දුන්නට වැඩක් ගන්න හැටි කිවේ නැනේ. හැම විදුලි ඇනහිටීමක්ම නොසැලකිල්ල කියන්න අමාරුයි නේද සමහර ඒවා බයි ඩ්සයින් නේද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඕවට බෙහෙත් දෙන හැටිත් උගන්නනවා නේ.
      අනික ඔය ලයින් එක නොටෝරියස් අකුණු ගැහිලි වලට.
      අනික ලංකාවේ ඩිස්ට්‍රිබියුෂන් හෙනම පරණ විදියට යන්නේ, අඩුගානේ බංග්ලාදෙශේත් මීට වඩා ඇඩ්වාන්ස් විදියට කරනවා.

      Delete
  9. මෙලෝ අලබෝලයක් තේරුනේ නෑ ඉතිම්...එහෙමෙයි කියල අපි මෙහෙ නෑවිදින් ඉන්නවද..නැනේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ලැයිට් ගියානං ගියා ආවනං ආව.
      මණ්ඩලෙන් හදුවනං හැදුව නැත්තං එතකං ලැයිට් නෑ.
      ඒක අපිට පරිබාහිර ක්‍රියාවක්,

      අපිට තියෙන්නේ මෙච්චරයි.
      වටින කියන උපකරණයක්, ප්‍රිජ් එකක් ටීවී එකක්, මෝටර් තියෙන ගැජට් එකක් තියේනං හා ඇහැක් නං සේරම ප්ලග් කරලා තියෙන එව්වා ගලවල දාන්ඩ. කොම්පියුටර් වගේ දෙයක් තියේනං පුලුවන්නං UPS එකක් හයි කොරගන්ඩ.නැත්තං වැඩ කොරලා අහක්කවෙලා ෂට් ඩවුන් කරලා තියන්ඩ.

      ලැයිට් ආවම කොහේ හරි තියෙන බලුප් එකක් පත්තුවේවි. විනාඩි පහ හයක් බලන් ඉඳල හරි වගේ නං ඔන්න ප්ලග් ටික ගහන්ඩ.
      මං දැකල තියෙන විදියට,
      1. හරියට වෑර් කොනෙක් කරලා නැතුව, බලුප් එක නිවෙනවා පත්තුවෙන සීන් තියෙනවා.
      2. ලයිව් වෑර් නියුට්‍රල් මාරු කරපු කේස්
      3. 230 වෙනුවට වැඩිපුර ආපු වෙලාවල්.
      ඔය මොක උනත් කෙලෑෂ් වෙන්නේ අපි දාඩිය මාන්සියෙන් හම්බුකළදේ. අනික එව්වා කැඩුනම ඕනේ වෙලාවට බඩුව නෑ දැන් කැඩිච්චි එක හදන්ඩත් ඕනේ හදන උංගේ ගෑස් බලන්ඩත් ඕනෙ.

      Delete
    2. ඔන්න ඔහොම සුද්ද සිංහලෙන් කියන්න බැරි උනේ ඇයි හැබෑටම 😜 මට මෙලෝ අලබෝලයක් නොතේරුනාට ඔව්වා ගැන සත්තලන්ට පොඩි පහේ මෙව්ව එකක් තියෙන නිසා ශේප්.ඔය සිංහලෙන් කියල තියෙන එව්ව ඒ නිසා අපේ ගෙදරත් වෙනවා.

      Delete