Wednesday, December 20, 2023

හෙට උදේට

ටැක්නිකල් වැඩිලු හිටං! 


ඉඳියාප්ප තවත් කන්න බෑ  

මුංඇට මට එපා  

කිරිබත් මට එපා  


ඔයවගේ කතාවක් කිව්වෙ අපේ ගැමේජ් (Gamage) ට්‍රිපක් ගොහිං ආ වෙලාවක. 

ගැමේජ් ගැන මං කලිං කියල නෑ. ගැමේජ් වැඩකළේ ජල සම්පාදනේ, මං පොඩි ට්‍රේනිං එහෙකට ගොහිං හිටිය එතන කාලයක්. 

බෝම අහිංසක පොර, කාටවත් කිසිම වරදක් කරන්නේ නෑ උදව්වක් මිසක හැබැයි මිත්‍රෝරුනි ගැමේජ් ගේ බයස් පොයින්ට් එක අපිට වඩා වෙනස් තැනක තිබුණේ, ෆුල් කඩු බයස්. ඕ යේස්! 

(මේ බයස් එක ගැන වැඩිය හිතන්ඩ කරන්ඩ ඕන්නෑ, ඉලැක්ට්‍රොනික් තාක්සනේදි, බයස් පොයින්ට් එක වෙනස් කිරීමෙන් ට්‍රාන්සිස්ටර් එක ස්විච් එකෙක් විදියටද ඇම්ප්ලිෆයර් එකක් විදියටද එහෙම නං පවර් එක වැඩියෙන්ද, ඩිස්ටෝෂන් අඩුවෙන්ද (සිග්නල් එක එලෙසම තැබෙන) එහෙම්මත් නැත්තං එෆිෂන්සි (කාර්යක්‍ෂමතාව) වැඩියෙන්ද ආදී වශයෙන් ක්ලාස් A, B, C  ආදී නොයෙක් නොයෙක් මෝඩ් වලට යොමු කරාන්ඩ ඇහැක්) 

එනිවේ, ගැමේජ් ගෙං තමා වෙනදා එලෝලු රොටි දෙකක් කාල කහට එකක් බිව්ව මං, ER දෙකක් කාල ප්ලේන්ටිය බොන ලෙවල් එකට රූපාන්තරණය උනේ. 

ලෝං වීකෙන්ඩෙකේ සැට් එකක් එක්ක කැන්ඩිලයිට් (Nuwaraeliya) ගොහිං පෙන් කේක් - pencake කාපු වරුණාව මතක්වෙනකොටත් ආසයි.  සුවඳ නාහෙට දැනුනනං අනිවා අපිත් කැන්ඩිලයිට් ඉන්නවා වගේ. පණ පිහිටුවල කතාව. 




දැන් දෙමු ජම්බු! 


ජපානෙං පටංගමු  

දොරයකි - ජපං ස්වීට් පෑන් කේක්  

සුවිට් නැතුව සේවරි ඕනෙ නං ඔකොනොමියකි 


කොරියාවෙං එකසිය ගානට  

ජං ජාති


සවුදි පෑන්කේක්  

හ්ම්ම් එහෙමත් එකෙක් තියෙනවද? 


 සුද්දොංගෙ එව්ව  

එංගලන්තෙ බ්‍රිටිෂ් පෑන්කේක්  

මේකට දාන්නෙ අපි පාං පිටි (all purpose flour) කියන එව්වයි, ලුණුයි, කිරියි බිත්තරයි  

දොරයකි මේ පාං පිටි වලින් ගතියට එන්නේ නෑ එකට කේක් පිටි ඕනෙ. 


මක්කැයි මල්ලි මේ පාං පිටියි, කේක් පිටියි. දෙකම තිරිඟු පිටි නේ.  

මේකනේ තිරිඟු ජාති ගොඩාක් තියෙනවනේ. 

ඕකෙ තියෙනවා වින්ටර් වීට් - සිසිර තිරිඟු (කොමද මගේ පරිවර්තනේ, එල නේ) 

මෙව්ව ඇට පැළවෙන්ඩ දාන්නෙ හේමන්තෙදි පැළවෙලා සිසිරෙදි නිදාගෙන ආයෙ වසන්තකාලෙ ඉඳලා හැදිලා වැඩිලා ග්‍රීෂ්ම ඉර්තුවේ හෝ ඊටත් පස්සේ හේමන්තෙ මුලදී තමා අස්වැන්න ගන්නෙ. ඔව්වයෙ ග්ලුටන් (ප්‍රෝටීන් විශේෂයක්) ප්‍රතිශතය වැඩියි. පාං වලට තමා හොඳ. මේකෙං හදන්නේ bread flour. ඔරිජිනල් පාං පිටි. 

සාමාන්‍යයෙන් spring wheat කියන්නෙ මෘදු soft wheat එකක්. හැබැයි ඩුරම් වීට් තමා තදම ජාතිය, පස්තා හදන්න ගන්න ජාතිය, නමුත් මේක වසන්ත තිරිඟුවක් (spring wheat). 

soft wheat වලිං ගන්න පිටි තමා කේක් පිටි cake flour. ප්‍රෝටීන් ප්‍රතිශතය අඩුයි. මේකෙං පාං හදන්ඩ ගියොත් පිපෙනව හොරයි. 

කඩෙං තිරිඟු පිටි කියල ගන්න එව්වා බොහෝවිට තද සහ මෘදු පිටිවල සංකලනයක්. ඕකට all purpose flour කියල කියනවා.

හොඳටම පිපුනෙ නැතත් පාං වලටත් ඕකේ, පොඩ්ඩක් chewy ගතිය ආවට කේක් වලටත් වරදක් නෑ. 

ඔය ග්ලුටන් එක වතුර වගේ දියර එක්ක එකතු කරලා අනන කොට ග්ලුටන් ඩිවලොප් වෙනවා කියල කතාවත් වෙනව. ඒ කියන්නේ එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා ප්‍රෝටීන් දංවැලක් වගේ, කෙඳි වගේ හැදෙනවා. පාං මෝලියක් අනපු කෙනෙක් දන්නවා මුලදී එන්න එන්න ඇනිල්ල අමාරුවෙනවා ඒ එක්කම මතුපිට සිනිඳු වෙනවා. 

පාං වලට ඔය කෙඳි හැදෙන්ඩ ඕන උනාට කේක් එක soft කරගන්ඩ නම් කෙඳි අවම කරගන්ඩ ඕනෙ. එනිසා පාං වගේ ලොකුවට කේක්‌, පෑන්කේක් වගේව අනන්ඩ ඕනන්නෑ. එහෙම ඇනුවොත් ග්ලුටන් ඩිවලොප් වෙලා රබර් වගේ වෙනවා. 

ඔන්න ඕක නිසා තමා දොරයකි වලට කේක් පිටි ඕනේ කියන්නෙ. හරිනේ .. 


නැවතත් එංගලන්තෙ British pancakes  

all purpose flour, ලුණු, බිත්තර සහ කිරි  

මේකේ all purpose පාවිච්චි කලාට වැඩිය අනන්නෙ කරන්නේ හෙම නෑ ජෙන්ටල් ෆෝල්ඩිං, යාන්තං පිටි ටික මික්ස් උන නොඋන ගානට.  


නෙදර්ලන්තෙ, ලංසි කෂ්ටියගේ ඩච් පෑන්කෙක් Pannenkokken  

මේකත් එංගලන්තෙ වගේමයි හැබැයි බැටර් එක පෑන් එකට දැම්ම ගමං ඇපල්, කෙසෙල්, බේකන් එක ජාතියක් හෝ කීපයක් දාල තමා හදන්නෙ. 


 ප්‍රංස ක්‍රෙප්ස් Crepes  

මේක හොඳට මික්ස් කරල හිටං හදන එකක්. බ්ලෙන්ඩරේ ගහතෑකි.

all purpose ග්‍රෑම් 150 කට සීනි ග්‍රෑම් 50ක් සහ ලුණු තේ හැඳි බාගයක් විතරත් දාල හොඳට මික්ස් කරගන්ඩ  

බිත්තර 4ක් හොඳට බීට් කරලා ඒකට දියකරලා නිවාගත් බටර් (melted and cooled)  ග්‍රෑම් 50කුත් දාල හොඳට මික්ස් කරගන්ඩ  

කිරි මි.ලී  250 දාල මික්ස් කරගන්ඩ  

ආයෙත් කිරි මි.ලී  250 දාල මික්ස් කරගන්ඩ  (ඔක්කොම ලීටර් බාගයයි) 

(වැනිලා තේ හැන්දක් හමාරක් දැම්මයි කියල වැරැද්දක් වෙන්නේ නෑ ) 

දැන් මේකට කලිං මික්ස් කරගත්ත සීනි පිටි මික්ස්චර් එකෙන් ටික ටික දදා කැට නැතිවෙන්ඩ හොඳ ස්මූත් බැටර් එකක් හදාගන්ඩ. පැය බාගයක් විතර පැත්තකින් තිබ්බට කමක් නෑ   

මේක හදන කොට තැටිය හොඳට රත් වෙලා තියෙන්ඩෝනෙ  (මීඩියම් හයි, ඩයල් එක හතේ අටේ වගේ). 

බටර් හරි තෙල් ටිකක් හරි තැටියෙ ගාගෙන (අඟල් 10, 12 තැටියකට බැටර් එක 1/3 කප් - 80 මි. ලී වගේ ඇති). මේක බොහොම තුනියට හදන්නෙ. 

ආප්පෙ දානව වගේ තැටිය කරකවලා ස්ප්‍රෙඩ් කරගන්ඩෝන. වාටිය කරවේගන අයිනෙන් පොඩ්ඩක් ඉස්සෙනකොට අනිත් පැත්ත දාල තව චූට්ටක් රත් කරගන්ඩ. 


 ඒ මගේ විදිය මේ මාස්ටර් ෂෙෆ් ලගේ ක්‍රමේ 



 දැං මයි ෆේවරිට් ඇමරිකන් පෑන්කේක්  

මෙව්වට දානවා පිපුම් ද්‍රව්‍ය, බේකිං පවුඩර්,  බේකිං සෝඩ වගේව ඈ  

මුලිම්ම් බටර් ග්‍රෑම් 60ක් දියකරගමු  

all purpose flour ග්‍රෑම් 240ක් (පෙනේරෙකිං හලලම ගන්ඩ) සීනි මේස හැඳි 4ක් (මේස හැන්දක් සාමාන්‍යයෙන් මි. ලී. 15යි) බේකින් පවුඩර් තේ හැඳි 4ක් (තේ හැන්දක් මි.ලී 5යි) ලුණුත් තේ හැඳි කාලක් විතර වගේ දාල හොඳට මික්ස් කරගන්ඩලා. 

බිත්තර දෙකක් හොඳට බීට් කරගෙන එකටම කිරි මි.ලී 480ක් දාල අයෙමත් බීට් කරගෙන, වැනිලා තේ හැන්දක් සහ මෙල්ටඩ් බටර් ද දමා තව ටිකක් බීට් කරගන්ඩ. 

පිටි මික්ස් එක කොටස් වශයෙන් තුන් හතර වතාවකට දියර මික්ස් එකට දාලා යාන්තං මික්ස් වෙන ගානට ජෙන්ට්ලි ෆෝල්ඩ් කරගන්ඩ. අරහෙං මෙහෙං පිටි කැට තිබ්බට කමක් නෑ. 

පැය බාගයක් විතර පැත්තකින් තියල පෑන් එක මධ්‍යම ප්‍රමානෙට ටිකක් අඩුවෙන් රත් කරගන්ඩ. තැටිය රත් උනාම බටර් ටිකක් එහෙම ගාල  බැටර් එකෙන් 1/4 කප් (මි. ලී 60ක්) විතර දාල විනාඩි දෙක තුනකින් උඩ බුබුළු ඒම නැවතුනහම වගේ අනිත් පැත්ත දාල තව විනාඩි දෙකක් විතර තියල ගන්ඩ. මේ කාල සීමාවල්, ප්‍රමාණ අඩු වැඩි කරලා පිච්චේන්නෙත් නැති, මැද අමුත් නැති පෑන්කේක් එකක් හදාගන්ඩ ඇහැක්. 

මේක හදන කොට බටර් වෙනුවට නියුට්‍රල් කුකිං ඔයිල් එකක් උනත් ආදේශ කරාන්ඩත් ඇහැක් නමුත් බටර් වෙනම රසක්! 


ඔව්ව වැඩක් නෑ මෙන්න මිත්‍රෝරුනි  

අයිසිං ඔන් ද කේක් හෙවත් ජයග්‍රාහකයා. 

විනාඩි 9:46 ඉඳල බලන්ඩලා

(මං දන්නව ඊට පස්සෙ බොලා බෙරල් ගෙ අහවල් එක ආයෙ මුල ඉඳං බලනවා කියල) 

 

මෙච්චර වීඩියෝ බලලා තවත් ලැජ්ජ නැත්තං  

මෙන්න මේකත් බැලුවට සයිබර් ක්‍රයිම් යුනිට් එකෙං ඔහෙලව අල්ලං යනේකක් නෑ. 



 


ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා! 

Friday, December 15, 2023

ටෝක් එක බැලන්ස් කරන්ඩ ට්‍රිප් එක යෑම

ටෝක් එක කිව්වෙ ඉංග්‍රීසියෙන් torque කියන දේට. සිංහල පාරිභාෂික ශබ්ධකෝෂයේ නං මං හිතන විදියට මේකට කියන්නෙ ඝූර්ණය. ඝූර්ණය වචනෙත් අලුතෙම්ම හදපු එකක් නිසාත් ඒකෙ අපි දන්නා විදියට තෝරගන්ඩ, සමාන කරලා බලන්ඩ  මක්කවත් නැති නිසාත් ටෝක් කියන එකම පාවිච්චි නොකෙරුවෙ ඇයිද කියල මටනං තේරෙන්නේ නෑ. ඒත් සිඩ්නි සිනුවර කරපු අපේ ඓයලට මේකත් මහා කජ්ජක්ද ආයුබෝවන්ඩ.

ටැක්නිකල් අංශෙදි අපි මේ ටෝක් එක හඳුන්වන්නෙ   (ග්‍රීක භාෂාවෙ 'ටෝ ') කියන සුරතල් නාමයෙන්. 

අපි කරකැවෙන එහෙමත් නැත්නම් භ්‍රමණය වෙන යන්ත්‍ර ගැන ඉගෙනීමේදී ;

P * ω 

මේ සමීකරණයේ P (Power) බලය ලෙසත්,   - ටෝක් එක ලෙසත්, ω (ග්‍රීක් අක්ෂරය (lower case -සිම්පල් )ඔමේගා ) angular velocity හෙවත් ආන්ත්‍රික ප්‍රවේගය (තත්පරයට රේඩියන් වලින් මනින ලද ) ලෙසත් පාවිච්චි වෙන්නේ.

තව ටිකක් පහසු කළොත් 

ω = 2 * π * n 

π නම් ඉතිං අපි දන්න පයි ම තමා (22/7 එසේත් නැත්නං 3.1416), එතකොට n කියන්නේ තත්පරයට කරකැවෙන වට ගණන.

P * 2 * π * n 

දැන් ටිකක් මේක ඇංජිමකට, රෝද කරකැවෙන ටැට්ටරේකට එහෙමත් නැත්තං බයිෂලේකට උපමා කරලා බලමුද.

අපි තැනිතලා පාරේ වේගයෙන් පදිනවා. ඒ ගානටම මාන්සි වෙලා ඒ ගානටම දාඩිය දාගෙන පෑගුවත් කන්දක් එහෙම නැත්නම් නැග්මක් එච්චර වේගෙන් යන්ඩ බෑ. කන්දක් අදිද්දි ගුරුත්වාකර්ශනෙයි අරකයි මේකයි කියල ආපස්සට අදින බලවේග තියෙනව. එතකොට එව්ව මැඩපවත්වගෙන ඉදිරියට එහෙමත් නැත්නම් උඩට යන්ඩ ලොකු ටෝක් එකක් අවශ්‍යයි. එතකොට අපේ අර දාඩිය දාගෙන පදින බලය එකම නම්, ටෝක් එක වැඩි උන කළ, n හෙවත් තත්පරේට රෝදෙ කැරකෙන රවුම් ගාන අඩුවෙනවා.

උදාහරනෙකට මෙහෙම බලමු 

ඔන්න P * 2 * π * n 

දෙපැත්තම (*2* π)  වලින් බෙදුවොත් 

P                2 * π * n 

(*2* π)             (*2* π) 

දකුණු පැත්තෙ කැපෙන එව්ව කැපිල හිටං

P               

(*2* π)             


දැන් හිතමු තැන්නේ යනකොට බලය යුනිට් 40ක් දානවා කියල 
අපිට ඒ පදින්ඩ ටෝක් එක 5 ක් අවශ්‍ය වෙනවා නම් 
රෝදේ වේගය වන්නේ 
40                   = 1.2732
5 * 2 * 3.1416 

තත්පරයට රවුම් 1.273 - ඒ කියන්නේ තත්පරේට රවුමයි කාලක් වගේ 


එතකොට හිතමු කන්දෙ පදිනකොට එම බලයම එනම් යුනිට් 40ම  දානවා කියල 
දැන් අපිට ඒ පදින්ඩ ටෝක් එක 10 ක් අවශ්‍ය වෙනවා එතකොට 
රෝදේ වේගය වන්නේ 
40                     = 0.6366
10 * 2 * 3.1416 


තත්පරයට රවුම් 0.6366  - ඒ කියන්නේ තත්පරේට රවුම් බාගෙකට ටිකක් වැඩියි 

කන්දෙ ආනතිය තවත් වැඩිනං බයිෂලේ පැදගන්ඩ බැරුව නවතිනව. ඒ කියන්නෙ තව දුරටත් පදින්ඩ අවශ්‍ය ටෝක් එක අපේ උපරිම බලයෙන් සපයාගන්ඩ බෑ.
 
වාහනේක උනත් ලෝඩ් එක අධිකව දාල එක්කො යන්ඩම බෑ නැත්තං බෝම හෙමිං ගමන.
ඔය යන අතරෙ පාරෙ නැග්මක් එහෙමත් නැත්තං තව හයියෙන් යන්ඩ ඇංජිම තව රේස් කළාම ඇංජිම නවතිනවා විතරක් නෙවේ බොහෝවිට ක්‍රෑන්ක් එකත් කැඩිලා යනවා.

ජෙනියකට එහෙමත් නැත්තං විදුලි ජනක යන්ත්‍රයක් ගත්තොත් බලය සපයන්නේ එක්කො ටර්බයින් (ගෑස්, වාෂ්ප එහෙමත් නැත්තං ජල විදුලි) එකකින් නැත්තං තෙල් වලින් දුවන ඇංජිමකිං. 

විදුලිය සම්බන්ධව අපි මූලික සමීකරණ දෙකක් කතාකරනවා.

ඕම්ගේ නියමය 

V = I  * R 

V - පරිපථයේ විභව අන්තරය, ගෙදර නං 230 වෝල්ට් (ප්‍රත්‍යාවර්ථ ධාරා, AC හෙවත් Alternating current)  , කාර් එකේ 12 වෝල්ට් (සරල ධාරා, Direct current හෙවත් DC ) විදියට 
I - පරිපථයේ ගලන විදුලි ධාරාව , ඇම්පියර් වලිං  
R - පරිපථයේ ගලන ධාරාවට ඇති ප්‍රතිරෝධය , ඕම් වලිං 

දෙවනුව 
P = V * I 

මෙතන V, I පරණ දේම තමා, නමුත් P කියන්නේ Power එසේත් නැත්නම් ජනිත කරන බලය , වොට් වලිං 

දැන් පොඩි උදාහරණ කීපයක් අරං බලමු 

එක්තරා සේකිට් එකක 230V AC සප්ලයි එකක් ඇතැයි සිතමු 
අපි ඒකට වොට් 1000ක හීටරයක් ප්ලග් කළා කියමු 

දැන් P =V *I  අනුව 
1000=230 * I 
I =1000/230
I = 4.348 ඇම්පියර් 
ඒ සේකිට් එකේ ඇම්පියර් 4.348ක ධාරාවක් යනවා. 

ඒ සමගම ඕම් නියමය අනුව 
V =I *R 
230=4.348 * R 
R=230/4.348
R =52.898 ඕම් 
ඒ සේකිට් එකේ ධාරාවට  ප්‍රතිරෝධය ඕම් 52.898 ක් වෙනවා.

අපි හිතමු මේ හීටරේ ෂෝට් උනා කියල.
ඒ කියන්නේ ප්‍රතිරෝධය ඉතාම අඩු උනාම,  එහෙමත් නැත්තං හීටරේ ඇතුලේ සප්ලෛ වයර් එක නියුට්‍රල් එකේ ගෑවිලා.
එතැනදී තියෙන්නේ ඉතාම අඩු ප්‍රතිරෝධයක්, හිතමු ඕම් 0.01කියල 
මේ වෙලාවේදී ගලායන ධාරාව I ගණනය කලොත් 

230 = I * 0.01
I=230/0.01
I = 23000 ඇම්පියර් 

ඇම්පියර් විස්ස තිහ යන්න හදපු වෑර්වල ඒ වගේ දහස් ගානක් යන්ඩගියොත් ඒව ගිනිගන්නවා. ඒ වගේම ක්ෂණික අධික කරන්ට් එක නිසා පරිපථයට සම්බන්ධ කරලා තියෙන උපකරණ වලට හානි වෙනවා. අන්න ඒක නවත්තන්න තමා සේකිට් එකේ ජම්බුගස් තියෙනවනං පියුස් (විලායකය) ද එසේත් නැතිනම් සේකිට් බ්‍රේකර් ද දමන්නෙ.

ජම්බුගස්මුල්ල 


සේකිට් බ්‍රේකර් 


මේ සංසිද්ධිය හැම විදුලි පරිපථයකටම වගේ පොදුයි.

අදාළ ප්‍රමාණයට වඩා වැඩි කරන්ට් එකක් පරිපථයේ එන විට පියුස් එක මැදින් පිච්චීමෙන් හෝ සේකිට් බ්‍රේකර් එක ට්‍රිප් වීමෙන් අදාළ පරිපථය විවෘත වෙනවා. කරන්ට් එකට ගමන්කිරීමට නම් සංවෘත පරිපථයක් අවශ්‍ය නිසා මේ අවස්ථාවේදී උපකරණය ක්‍රියා විරහිත වෙනවා.

කොත්මලේ ඉඳල බියගමට එන ලයින් එක මෙගාවොට් 500 ක විතර බලයක් රැගෙන එන්නෙ වෝල්ට් 220000 ම (220kV) විභවයකින්. P =V *I  අනුව එහි ඇම්පියර් 2000කට වැඩි කරන්ට් එකක් පාස් වෙනවා. ඕක සේකිට් හතර පහක තමා එවන්නේ, ඒ කියන්නේ එක සේකිට් එකක ඇම්පියර් 500 ක් විතර එනවා. ඔය එක ලයින් එකක් ෂෝට් උනොත් මිත්‍රෝරුනි මතකනේ ඇම්පියර් හතරෙන් දුවන හීටරේ ෂෝට් උනොත් ඇම්පියර් විසි දාහකට වඩා ගන්නවා කියල. මේක ඇම්පියර් 500 ක් විතර ෂොට් උනොත්...

ඔහොම ෂෝට් උනොත් ජෙනරේටරේ බේරගන්ඩ ලයින් එක ට්‍රිප් වෙනවා. එතකොට ලයින් එකේ කරන්ට් එකක් එන්නේ නැත.
ඔය වගේම තමා ලයින් එක මගදී කැඩුනොත්. එතකොටත් ලයින් එකේ කරන්ට් එකක් එන්නේ නැත.

ඔය කොත්මලේ-බියගම ලයින් එක අකුණු වලටත් බෝම ප්‍රසිද්ධ එකක්. හොඳවයින් අකුණක් වැදුනොත් ලයින් එක ට්‍රිප් වෙනවා.

මං හිතන තරමට ලංකාවෙ විදුලි ඉල්ලුම මෙගාවොට් 2500-3000 අතර වෙනවා, මෙතනිං මෙගාවොට් 500ක් ක්ෂණිකව අයින් උනා කියන්නේ ඉතුරු ජෙනරේෂන් ප්ලාන්ට් වලට ඒ ඉල්ලුම ක්ෂණිකව සපයන්ඩ වෙනවා (දෙමටගොඩ සිස්ටම් කොන්ට්‍රෝල් එකෙන් වෙනත් ප්ලාන්ට් සම්බන්ධ කරන තෙක්).

ඔන්න එතකොට ඒ වැඩිඋන ලෝඩ් එකට සරිලන විදියට ටෝක් එක දෙන්ඩ ඒ ජෙනි වල වේගය අඩුවෙනවා. එතකොට පද්ධතියේ සංඛ්‍යාතය - system frequency එක 50Hz ට වඩා අඩු වෙනවා. එක අඩු වෙච්චි ගමං ඒ හේතුව නිසා ඒ ප්ලාන්ට් ට්‍රිප් වෙන්ඩ ගන්නවා. ඔන්න රටම අඳුරේ.
ගෙදර ලයිට් ගියාම, ලයිට් එන්ඩ කලිං සේරෝම වගේ උපකරණ ඕෆ් කරලා ලයිට් ආවම නැවත එක එක ඔන් කරන් යන එක හොඳ පුරුද්දක් වගේ මේ ට්‍රිප් වෙච්චි ප්ලාන්ට් නැවත සිස්ටම් එකට එකතු කරන එකත් බෝම සීරුවට කළ යුතයි.

විදුලි ඉංජිනේරු විද්‍යාවේ අන්තිම අවුරුද්දේ විතර ඕව වෙන හැටි කරන හැටි සේරම උගන්නනවා.
ඒ විතරක් නෙවේ ඔය නිතර කැඩෙන අකුණු වැදෙන ලයින් එක්ක වැඩ කරන හැටිත් ඔහොම නොවෙන්න වැඩ සලස්සන විදියත් උගන්නනවා.

එක්කො මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො ඇත්තටම විදුලි ඉංජිනේරුවෝ නෙවෙයිද කියල කවුද දන්නෙ, සමහරවිට විහිලු ඉංජිනේරුවො වෙන්ඩෑති.

ඩිස්ක්ලේමර් එක: ඔය V=I*R, P =V*I වගේ සමීකරණ සෑම තත්වයටම සර්ව සධාරණ නැති බවත්, මේ වගේ පොඩි පහේ එක්ස්ප්ලනේෂන් එකකට නම් ඕ කේ බවත් කියා සිටිමි.

මේ සෙනසුරාද ට්‍රිපක් යන්ඩ සිටින නිසා ශනි මොකද සිකුරු මොකද කියා අද දැමූ බවත් එදාට මක්කහරි ටෝකක් දාගන්ඩ ඇහැක්ද කියා බලමු කියා මෙයින් නවතිමි.

අසා සිටි ඔබ සැමට ස්තුතියි 

Sunday, December 10, 2023

රේඩියෝ රේ ප්‍යාර්කෙරේ

න්න ඉතිං ඉස්තානෙ ගේට්ටුව ලඟටත් ආව කියමුකෝ. ගේට්ටුවෙ ඉන්න 'උස' හාදයෙක් ඇවිත් මගේ නම ගම උපං ඉස්තානෙ ආදී නොයෙක් විස්තරත් අහගෙන කාවද මුණගැහෙන්ද ඕනෙ කියලත් අහගෙන ඊට අමතරව මගෙ අයිඩෙන්ටි කාඩ් එකත් අරං ඇතුලට ගියා. ඉන් පස්සෙ තව 'උස' හාදයෙක් ඇවිත් වාහනේ ඇන්ජිම හොදින් තෙල් මාරුකරලා ග්‍රීස් ගහල කාරිය කරලා තියෙනවද, බූට් එක පිරිසිදුව තියෙනවද, චැසිය මලකඩ කාලා හෙම නැද්ද යනාදී විස්තරත් හොඳින් බලා කියාගෙන ඉන්නාතරේ අර මුලින් ආපු හාදය අයෙමත් ඇවිත් මහත්තයට අපේ ස' පොඩ්ඩක් කතා කරනව කිව්වා.

මහත්තයට කාවද මුණගැහෙන්ඩ ඕනේ කිව්වෙ

චීෆ් රේඩියොලොජිස්ට්  මහත්තයව 

ඒ කිව්වේ 

ඔව් ඒ මහත්තය තමා 

මොකක්ද ඒ මහත්තයගෙ නම 

වික්‍රමරත්න 

ආ වික්‍රමරත්න ස' ද 

ඔව් එය තමා 


හලෝ මේ වික්‍රමරත්න ස' ද 

....

ස' ගේ රේඩියෝ එක හදන්ඩ මේ කෙනෙක් ඇවිල්ල ඉන්නව. එවන්නද?

----

මවුත් පීස් එක අතිං වහගෙන 

මහත්තයාගෙ නම මොකක්ද 

කුමාර් කියල කියන්ඩ 

....

...

හරි ස' යන්ඩ 


ඒ අව්අස්සෙ මගේ නම අද දිනය දැන් වෙලාව ලියූ පේලියෙ අස්සං කරන්ඩයි කියල CR පොතකුත් දුන්න. මගේ ගේට්ටු අස්සන 'ඕ.පු' එකත් සිංහලෙම්ම ලිව්වට පස්සේ ඇතුල්වීමට අවසර ලැබුනා. 'ඕ. හු.'  කියල අස්සං කරන වෙලාවලුත් නැතුවම නෙවේ.

දැන් ප්‍රශ්නේ හැට්ටර් කෝමද එක පාරටම කුමාර් උනේ.

වැඩේ මෙහෙමයි.

ඉස්කෝලෙදි චන්දරේ 

ඊළඟට ඉගෙනගත්ත තැන ලාස්ට් නේම් එක 

රස්සාවෙදි බොහෝවෙලාවට කුමාර් 

රටඉඳි කොම්පැණියේදී තව නමක් 

දැන් කතාකරන්නේ මගේ පුරුතුගීසි නමින් 

හා තව එකක් ඤාතීන් අතර වෙනත් නමක්! 

ඔන්න ඔය විදියට මාව අඳුන්වන ක්‍රමෙන් දන්නව කොතැන කොනෙක්ෂන් එකක්ද කියල හිටං.

Good afternoon, Sir.

Hello... good to see you, long time no see

Yeah, I am in the printing industry now.

එනිවේ, ඔන්න මැෂිම තියෙන කාමරේට ආව. පෙනුමේං නං අගේට තියෙනවා. ටෙම්පරේචර් හියුමිඩිටි රෙකෝඩර් වැඩ කරනවා, ඕවර් නෑ අන්ඩර් නෑ විතින් ලිමිට්. තෙකළා විදුලියත් කළාවට 230 වෝල්ට් ගානේ පෙන්නනවා, 50 හර්ට්ස් ගානට තියෙනවා. මේසයක් උඩ පුපුරලා ලොඳ එලියට පැනපු IGBT එකකුත් තියෙනවා.


ලොකු සර් මේකෙ සේවිස් රිපෝට් ටික බලන්ඩ ඇහැක්ද ?

ලතා මේ කුමාර් ස'ට සී ටී එකේ ෆයිල් එක ගෙනත් දෙන්න  

දැන් මැෂිම මොකක්ද කියල කිව්වනේ.

මේ පහළ තියෙන්නේ ඒ වගේ එකකින් ගත්ත පිංතූරයක්.

වමේ රෙෆරන්ස් ඉමේජ් එකේ තියෙන තැනින් හරහට කපල පලු කරාම පේන දේ තමා දකුණේ තියෙන්නේ.


Credits to radiologykey.com


දැන් කිඩ්නි එක මොකක්ද කියල අඳුනගන්ඩ ඇහැක්නේ හිටං. එතකොට ඔය සුදු පාටට තියෙන්නේ කිඩ්නියේ ගල් ඈ. (ඒව ඇත්තටම නම් සුදු නෑ නමුත් මේ පිංතූරෙ කළු සුදු නිසා ඕම තමා පේන්නෙ). කොහොමද මහා ධමනිය (Aorta) පරිස්සං කරලා තියන හැටි.


https://www.wikidoc.org/index.php/File:Staghorn-calculus-001.jpg

ම්ම් මේකේ මේ අන්තිම රිපෝට් නෑ නේ, අන්තිමටම තියෙන්නේ මාස තුනකට කලින් කළ වැඩක් නේ.

මම හෙට එන්නං අලුත්ම සේවිස් රිපෝට් ටික ඉල්ලලා තියන්ඩ ඇහැක්ද?

හරි මම රික්වෙස්ට් එකක් දාන්නං.

දැන් ඉතිං ඉදිරියට යන්න නං මේකේ මක්කැයි කරලා තියෙන්නේ කියල දැන ගන්ඩ එපාය.
ඉතිං සේවිස් රිපෝට් ආවම ඕක හදල ඉවරයක් කරලම දාමු.

(ඇත්තම කියනවනං මිත්‍රෝරුනි මේක ලියන්ඩ අතිශයම කම්මැලියි)


ජයවේවා!

Sunday, December 3, 2023

අශ්වයොත් දුවන්නේ මල්ලි මීහරක් වගේ

හෙවත් Myself 


Myself රචනාව දිගයි නමුත් කෑල්ලක් වත් ලියන්ඩ බලමු.

කීප දෙනෙක් නම් මේ හාල් කෑල්ල ගැන ටිකක් දන්නව, ඕ යේස් ඔරිජිනල් ගංකබරාස්ම තමා. නෝ ඩවුට් බඩී. නෝ ඩවුට්

රස්සාවල් නං ගනං කළොත් අඩුම ගානේ පාළහක් (fifteen) වත් දැනට කරලා ඇති, එක පාරක් මාව රස්සාවෙන් fire කරලත් තියෙනවා. ඔව් ජිවිතේ හැටි. ඔය රස්සා වලින් බොහොමයක්ම ලංකාවේ සහ වෙනත් රටවල ආණ්ඩු, ප්‍රාන්ත, පළාත් ආණ්ඩු වලට තමා වැඩ කරලා තියෙන්නේ. අනෙක් කාරණේ තමා මේ රස්සාවල් බොහොමයක් එකකට එකක් වෙනස් ෆීල්ඩ් වල වීම. රස්සාව ඉන්ටරෙස්ටිං නැත්තං මම එතන වැඩි කලක් රැඳෙන්නේ නෑ. ඒ අතිං මහා මුරණ්ඩු ජීවියෙක්. 

ප්‍රස්තුතයට අදාළ වන්නේ අවුරුදු විස්සකට විතර එහායිං වුනු සිද්ධියක්.

කොළඹට ළඟ එක්තරා ආයතනයක තිබ්බ හයිටෙක් යන්ත්‍රයක් ලෝකල් ඒජන්ට් එක්ක තිබ්බ අවුලකට එවුන්ව කපලා ඉන්දියාවෙන් OEM (original equipment manufacturer) ගෙ ඒජන්ට් එක්ක ඩිරෙක්ට් එකතු වෙලා ඒකෙ නඩත්තු වැඩ කටයුතු කරගෙන ගියා. ඇමරිකන් කොම්පැනියක් උනාට ඉන්දියාවේ ලොකු ඔපරේෂන් එකක් තිබුන එයාලගෙ.  

යම්කිසි වේලාවකදී මේකෙ ප්‍රශ්නයක් ඇවිල්ල OEM ඩොලර් ලක්ෂ දෙක හමාරක මුදලක් (මිලියන කාලක්) ඉල්ලනවා අවශ්‍ය ස්පෙයා පාට් ගෙන්වන්නට. ඒ කෑලි වලට පමණයි, සවිකිරීමේ හා අනෙකුත් ගාස්තු වලට අමතරව. මේ යන්ත්‍රය ඒ කාලෙ ඩොලර් මිලියන තුන හමාරක් හතරක් පමණ උනා.

එතැනදී යන්ත්‍රය හිමිකරුවන් ලෝකල් ඒජන්ට්ට නැවත කතා කරනවා මේක ගොඩ දාල දෙන්ඩය කියලා

ඒ අයත් ඇවිත් ඔව් මේකට අර කෑල්ල දාන්ඩ ඕනේ, අපිට උනත් එක ඇනවුම් කරන්ඩ වෙන්නේ OEM හරහාම පමණයි, ඒ නිසා ඒ අය එක්කම වැඩේ කරගෙන යනලෙස කියනවා.

හිමිකරුවනුත් වැඩේ අත අරින්නේ නෑ, මොරටුව යුනිවසිටියේ ලොකු මහත්තැන් දෙපලකට කියනවා මේක හදා ගන්ඩ උදව් කොරාන්ඩෙයි කියලා. එතන ඉලෙක්ට්‍රොනික් දෙපර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තුමන් දෙපලක් මේක අලම කරලා දානවා. ඉන්වර්ටරේ තියෙන හයි පවර් IGBT එකක් පුපුරෝලා හිටං, ඔය IGBT එකක් ඩොලර් 3000-5000 අතර මුදලක් වෙනවා. මැෂිමේ ඕව 4ක් තියෙනවා. කොම්පැණියෙන් අලුත් එකක් ගෙන්නාගෙන හයිකළත් දැන් මැෂිම වැඩ කරන්නෙම නෑ කියමුකො. ෆිනිතෝ.

දැන් ඒ ඩබල කොම්පැනියෙන් සේවිස් මැනුවල් ඉල්ලනවා, කොම්පැනිය ඒවා තුන්වන පාර්ශ්වයකට දෙන්න බෑ කියනවා.

කොයිමෙන් කොයිම හරි වැඩේ එතනිං එහාට ඇදෙන්නෙ නෑ.

දුන්නොත් හදන්නං කියනවා - අපිට දෙන්න බෑ කියනව.

ඔය අව් අස්සේ එතන ලොක්කට කවුරුහරි ගිනිගෙඩිය දීල තියෙනවා කොටා රෝඩ් එකේ තැනක ප්‍රින්ටිං ජොයින්ට් එහෙක හැට්ටර් කියල එකෙක් ඉන්නවාය ඌට නං ඕක ගොඩදාල දෙන්ඩ ඇහැක් වෙයිය කියල.

එයා ඇවිත් අපේ බොස්ට, මිස්ට RPට (මම කියන්නේ TRD - Toyota Racing Development නං නෙවෙයි) කතාකරලා උදව් ඉල්ලලා තියෙනවා.

හැට් මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා පුලුවන්නං කරලා දෙන්ඩ. ඕනේ නං වැඩ වෙලාවෙ ගියත් ප්‍රශ්නයක් නෑ කියල අවසර පත්‍රය නිකුත් කරනවා.

ඔන්න ඔතනදි තමා මිත්‍රෝරුනි හැට්ටර් එන්ටර් වෙන්නේ.

මොකාද මේ කුරුල්ලා කියල බලන්ඩ අතිං ඩීසල් ටැංකියකුත් ගහගෙන ඊළඟ දවසෙ වරුවෙන් මම පිටත්උනා just like  එළාර කිං එහෙං කමිං දුටුගැමුණු කිං මෙහෙං කමිං ක්‍රමේට

වෙන දවසක තව ටිකක් ලියමු