Thursday, June 25, 2020

කන්න කන්න.... පුතාල කන්න

Thank you kiteworldmag.com for the image

ඔන්න කොල්ලොටික දවාලට කනවා ඈ ..

බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.. දන්නවනේ කොල්ලො කන්ඩ ගියාම, අඹරන්ඩ බැරි වාහෙලා, ඒ මදිවට අලියා ගුලිත් කාල.

අංකල් ආව.. මාරුවෙන් මාරුවට බැලුව මේසෙ දිහයි කොල්ලෝ සෙට් එකයි දිහයි.

මොකෝ අංකල් මොකක් හරි වැඩක් සෙට් වෙලාද?. කියන්ඩ අපි කෂ් ගාල කාල එන්නං

නෑ නෑ පුතාල කන්න..

ආයෙම ඇඹරුම් යන්ත්‍ර වැඩ.
බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.
එළවළු මාළු එනවා, ආයෙ  එනවා

දැන් මෙහෙමනේ වැඩේ.

කොල්ලෙක්ගෙ අක්ක බඳින කොට ඇට්ටෝම් පලේ බ‍ර වැඩ අංශේ එන්නේ මල්ලියට නේ. ප්‍රෙන්ට තනියම අදින්න දෙන්නේ නෑ යාලුවෝ සෙට් එකත් එනවා උදව්වට. එව්වා යුතුකම්. අක්කල ඉන්න මල්ලිල ඔව්ව දන්නව.

දැන් දවස් කීපයක්ම ගේම දීල ඊයේ රෑත් නයිටඇදල උදේ වෙනකොට කොල්ලොන්ගේ වැඩ "දැනට" අහවරයි. ඉතුරු වැඩ හවසට. ජෝඩුව එහෙම පිටත් උනාට පස්සෙ
නාල කරලා කාරිය කොල්ලොටික ඉන්නවා සුද්දෝ වගේ ටයි එහෙම දාල.

මනමාලයාගේ සපත්තු වලට වතුරදාල මෂ්ෂිනා ගතමනාවට මුද්දත් එහෙම අරගෙන ගැන්සිය එකෙල මෙකෙල වෙවී ඉන්නවා කරන්ඩ හරිහමං වැඩක් නැතුව. ඔය ඉන්න අතරේ බඩා කියපි අඩෝ අපි අලිය ගුලි ටිකක් ගේමු. දවල්ට කන්ඩත් තව වෙලා තියෙනවෙනේ.

අලිය ගුලි කාපු එකා දන්නවා මාත්‍රාව සහ විශේෂයෙන්ම වැරෙන් පහර දෙන්ඩ හොඳ නැති බව. ඒත් එතන හිටි සමහරු එදා තමයි නමෝ විත්තියෙන් සළු වෙන්නේ.

කෝමහරි අංකල් කෑමට කතා කරන කොට ටීම් එක සරුංගල් හෙලිකොප්ටර් වලින් තමයි මේසෙට ගියේ ඈ..

දැන් දෙවෙනි පාරටත් , ආයේ විනාඩි දහයකින් පැය කාලෙකින් විතර අංකල් ආව.

වැඩක් තියේනං කියන්ඩ අංකල් මේ කෑවා මේ ආව

නෑ නෑ කන්න කන්න පුතාල කන්න..
ආයෙම ඇඹරුම් යන්ත්‍ර වැඩ.
බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.
එළවළු මාළු එනවා, ආයෙ  එනවා , බැදපු මාළු, කට්ලට් හ්ම්.. හ්ම්..

තව පැය කාලකින් විතර අන්කල් අයෙමත් ආව. මූණත් ටිකක් අප්ෂෙට්.

අංකල් මොකක්ද අවුලක්ද? කියන්ඩ අපි දෙන්නං වැඩේ..

ආ ආ කන්න කන්න පුතාල කන්න.. තව කන්න ඉන්නව.. පුතාල කන්න




මේ පැත්තේ පැමිණියාටත් ඔබගේ වටිනා කාලයටත් තැන්කිව් වේවා!    
Myself Hattor

Monday, June 8, 2020

පුෂ්පෙය - My friend Pushpe

පුෂ්පෙය හිත හොඳ එකා.

තනි වාක්‍යයකින් සැටිපිකෙට් එකක් දෙන්ඩයි කිව්වොත් ඔහොම්මම තමයි ලියන්ඩ වෙන්නෙත්.
අඩි හයට නං වැඩියි උස නමුත් එච්චර සරීර පෝසතෙක් නං නෙවෙයි. කෙට්ටු පරාණේ.
කොහෙ දැක්කත් හා.. මචෝ කොහොමෙයි කියල ඔලුව එහෙම පොඩ්ඩක් පැත්තට නවල කරල කතා නොකර ඉන්නේ පුෂ්පෙය නෙවෙයි.

ශිෂ්‍යයෝ කාලේ දන්නවනේ ඉතින් අතේ සල්ලි බාගෙ එහෙමත් නැහැ නොවැ හිටං. නරක පුරුදු වලටත් ඇබ්බැහිවෙනවත් අඩුයි නොවැ එතකොට.

රෑ පිරිතක් හෙම තියෙනවා නං පුෂ්පෙය බැහැල වැඩ. ඕ යේස් හන්ඩ්‍රඩ් පසෙන්ට්
කළමනා සපයන වැඩ වල ඉඳන් සේරෝම වැඩ හොයල බලල හිටං පිරිත පටන්ගත්තට පස්සේ පුෂ්පෙය ඕන්න ටිකක් රිලීස් වෙනවා.
ආං එතැනදී පුෂ්පෙය යනවා පිරිත් ශ්‍රවනය නොකර ඉන්න අයගෙන් නිදහසට කරුණු විමසන්ඩ.

පුෂ්පෙයත් ළඟ නවනවා කෂ කෂ ගාල. වෙන මක්කටවත් නෙවේ ශිෂ්‍යයොන්ගේම හොඳට. ළඟ නැව්වම බඩු ඉක්මනට ඉවරයි නොවැ . දැං  ඉතිං මක්කැයි ශිෂ්‍යයෝ බොන්නේ. අන්න එතනයි පොයින්ට් එක තියෙන්නේ. පුෂ්පෙය හොඳට හිතා මතා ඕක කොරන්නේ.  බොන්ඩ දෙයක් ඉතුරුවෙලා නැති නිසා  නොබොන ශිෂ්‍යයන්ට පිං ඒවගේම ඒ අවස්ථාව බලෙන්ම ලබාදුන් පුෂ්පෙයටත් පිං.

ටිහකින් ඔන්න පුෂ්පෙයගේ මූණ එහෙක් වෙනවා මෙහේක් වෙනවා. ඔබ හරි. 
නිව්ටන් උන්නැහෙගෙ නියමයට අනුව තැපෑලෙන් රිසල්ට් එක ඇවිත්.


මචං අපේ අම්ම දන්නවනං මං බොනවැයි කියලා ...... පුෂ්පෙයා අඬනව

පුෂ්පෙය හිත හොඳ එකා.