Saturday, November 30, 2019

ඇසළ කුණට ජයවේවා!

ගුඩ් මෝනිං එකක් වේවා!

තාව මෙහෙමනේ උනේ සෑර්.

හැත්තැහතේ තිබ්බනේ සෑර් 'මන්ත්‍රී තරඟයක්'. ඔව් ඔව් අර පේමදාස මහත්තය අත් දෙකට පොල් බෑ දෙක අරගෙන මේ පොල්බෑය කීයද,  මේ පොල්බෑය කීයද කියල එක එක බෑය වෙන වෙනම පේන්නලා ගනං ටීචර් වගේ අපෙන් අහනවා එතකොට පොල් ගෙඩිය කියක් උනාද කියල. අන්න එහෙමයි ඒකාලේ..  අපිට ගනං සාස්තරේ හිටං එතුමල කියල දුන්නේ.

හිච්චි එකා කාලේ ඉතිං හැට්ටරුත් යනවා චන්ද මීටිං බලන්ඩ හිටං, කොළ කෑල්ලක් එහෙම අරගෙන පැන්සලෙන් ගාන එකතු කරලා බැලින්නං හරියටම හරිනේ. ඒ මහත්තය ඇත්තනේ කියල තියෙන්නේ. හැබැයි චියර් කරන කෂ්ටිය 'හැත්තැහතේ ..ත්ත නැතේ..' කෑගහල කියන එකනං හරියට තේරුං ගියේ නං නෑ. එතකොට ගෑනු ඔක්කොම පිරිමි වෙනවද නැත්තං අමුතුම ජාතියක් වෙනවද කියල තමයි පස්නේ තිබ්බේ. 

ඔන්න ඔය තරඟෙට බලපිටියේ ආසනෙන් ඉල්ලුව සුදර්මන් මහත්තයත්. 
ස්වාධීන අපේක්ෂකයා.
සුදර්මන් මහත්තය බලපිටියේ ගුරු විද්‍යාලෙන් පැන්ෂන් එහෙම ගිහිල්ල හිටං එයාගේ වතුපිටිටික බලා කියාගෙන හිටියේ. නෝනත් නෑ මගේ හිතේ ඒ වෙනකොට. දුවයි බෑනයි තමා ගෙදර හිටියේ තඩි ඇල්සේසන් බල්ලට අමතරව. කාර් තුනක්ද කොහෙද තිබ්බ, කොන්සල් එකයි, පෝඩ් ප්‍රිපෙට් එකයි තව මගේ හිතේ හිල්මන් එහෙකුයි. 
වත්තක් දෙකක් විකුණලා සල්ලිත් ලැහැස්ති කොරගෙන තමයි සුදර්මන් මහත්තය ගේමට බැස්සේ.

අම්මට සිරි, ගමේ විතරක් නෙවේ අල්ලපු ගං වල රස්තියාදු කෙල කෙල හිටි හාදයෝ සේරෝම සුදර්මන් මහත්තයාගේ ගෙදර. කහ සේට් ඇඳල, කහ තොප්පි දාල කියල වෑඈඩක් නෑ ..

උන්ම අතිං ලියල හිටං තාප්ප වල ගැහුවා කහ පාට පෝස්ටරයක්. එළ කිරි වගේ.


නෝමන් මහත්තය ගහල තියෙනවා අලියාට ඔබේ වටිනා චන්දය දෙන්ඩ කියල, අසෝක මහත්තය කියනව ගියපාර වගේම යතුරට චන්දෙ දෙන්ඩ කියල, ලස්මන් මහත්තයත් එහෙමයි, අතට චන්දෙ දෙන්ඩ කියනවා. සුදර්මන් මහත්තය විතරක් කොහෙවත් නැති කුණකට චන්දෙ දෙන්ඩ කියනවා. මට නං හිතුනේ මේ කියන්නේ පාරුතොට පොල් ලෙලි වලවල් ගැන කියල, අපේ හරියේ මාදුගඟේ ගොඩ හරියට වෙන්ඩ එක සිය ගානට පොල් ලෙලි වලවල් තියෙනවා, එව්වට ලෙලි දාල පල් කොරල ඊට පස්සේ තලලා තමා ඒකාලේ පොල් කොහු හදන්නේ. ඔය වලවල් සදා හයිඩ්‍රජන් සල්පයිඩ් ගඳයි. රත්ගම එව්වෝ වගේ කතරගම යන වාහන වලට කියල පොල් ලෙලි තලවගත්තේ නෑ අපේ ගමේ අය. අහිංසක මිනිස්සු.

අර කහ සේට් කෂ්ටිය ඉන්නවා නේද, ඉස්සර වැලේ වැල් නැතුව බීඩි බිබී හිටියට දැන් උන් හන්දියේ කඩේට 'ෂියෑට්' එකක් ගන්ඩ යන්නෙත් පෝඩ් ප්‍රිපෙට් එකේ, ඒකත් පුල්ම ලෝඩ් එක ගහල. කොහොමද ඒක.. 
ඉස්ටේජ් ගහනවා, කහ කොඩි දානවා, උන්ම කතාත් පවත්වනවා, ඔරෙන්ජන් බාර්ලි බොනවා. බොරු කියන්ඩ ඕනේ නෑ ළඟ හිටියොත් අපටත් බාර්ලි හම්බ වෙනවා.. වැඩ ලක්සයයි.

දැන් ඔන්න පිංවතුනි සුදර්මන් මහත්තය කතාව කරනවා.
නෝනාවරුනි, මහත්වරුනි, දරුවනි.   වශයෙන් පටන් ගෙන...
පේමදාස මහත්තයලට  සිරිමාවෝලට වගේ ලොකු පස්න, ප්‍රතිපත්හි ප්‍රකාසන අරව මෙව්වා නැහැ. 
සුදර්මන් මහත්තය කියන්නේ එක දෙයයි.
මිත්‍රවරුනි, දැන් අපේ ගම දියුණු කොරන්ඩ ඕනේ. කොහොමද? 
මෙන්න මේකයි මගේ පැලෑන.

දැන් අපේ ගමේ බැලු බැලු අත තියෙනවනේ පොල් ගස්.
මම මංත්‍රී උනාම හැම ගහකම බඳින්ඩ හරකෙක් සපයලා දෙනවා. ඌ එතන තියෙන තණකොළ ටික කාවි. ඔහෙලට තියෙන්නේ වතුර ටිකක්, ඉඳ හිට පුන්නක්කු ටිකක් දෙන එක විතරයි.
උගේ කිරි තමන්ට ඇති පමණ බීල ඉතුරු ටික විකුණන්ඩ ඇහැකි. ගොම ටික දාල එළවළුවක් වවා ගන්ඩ ඇහැකි.
නිරෝගී මිනිසුන් සහ අමතර අදායමක්!

ඉත්න් ඔහෙලට තියෙන්නේ ඇස ලකුණට චන්දය දෙන එක විතරයි.
simple as that.

පස්සෙන් පහු වෙනකොට සුදර්මන් මහත්තය කතාවේ අගට තව කෑල්ලකුත් එකතුකළා. ඒ මොකක්ද;
මම දැන් දිනලා ඉවරයි, දැන් මට තියෙන්නේ මැජෝරිටිය හදාගන්ඩ එක තමයි. ඩික්ෂනරියක් වත් නැති එකේ මක්කැයි මේ මැජෝරිටිය කියල දැනගන්ඩ හැට්ටර්ට නං සෑහෙන කාලයක් ගියා.

ඔන්න දැන් පහුගිය 16 වගේ ඉලෙක්ෂන් දවස උදාඋනා. චන්දෙ දැම්ම. චන්ද පෙට්ටි ගාල්ලේ කච්චේරියට ගෙනිච්චා. සුදර්මන් මහත්තයත් ඒ එක්කම ගාලු ගියා.

අම්මට සිරි ඊට පස්සෙනේ කෙළිය. සුදර්මන් මහත්තයාගේ ගෙදර ඇස්ටෝම් පළ වගේ, කෑමද, බීමද, අරවද මේවද , වෑ.. ඩක් නෑ. සැට් එක පුල් වොලියුම්. ඇම් ඇස්ලගේ ඇන්ටන් ජෝන්ලගේ බයිලා එකක් පස්සේ එකක්. කස්ටියක් නටනවා. හැබැයි හත අට වෙනකොටම සමහරු පැණි වෙලා භූගත වෙලාත් හිටිය. 


ඔන්න දැන් පාන්දර ජාමේ සුදර්මන්, මහත්තයාගේ කාර් එක එනවා. සෙනගට වගේ වගක් නෑ. කනවා, බොනවා. ෂියෑට් ගහනවා එක සිය ගානට මේ හෙට සුනාමිය එනවා වගේ. . මහත්තය ගියා සැට් එක ඕෆ් කළා, සෙනග පුල් හොල්මං, 
තුන්සිය හතලිස් දෙකක් ඉඳිද්දී අනික්  සේරෝම කැරි වේෂිගේ පුතාල දැන්ම පලයව් එලියට කියල කෑගහල කිව්වා.

මයින්ද දේශප්‍රිය මහත්තයගෙන් ඇහුවොත් කියාවි කොහොමද පරණ චන්ද ප්‍රතිපල  බලන්නේ කියල. (මගේ නම නං කියන්න එපා, එයා අපේ ගුරුතුමා.. විවහාරික ගණිතේ ඉගැන්නුවේ). 

සත්‍ය සිද්ධිය ඔතනින් ඉවරයි.

දැන් ඔන්න සුදර්මන් මහත්තය ගෙට ගිහින් වොෂ් එකක් එහෙම දාල සරමකුත් ඇඳගෙන එනවලු පාටියට.
දෙශීයකුත් දාගෙන ගිහින් සැට් එක ඔන් කරලා හෙම හිටං දැම්මලු   සින්දුවක්.


නැවිලා සරමේ කොනකිං අල්ලලා උස්සල ගත්තලු හිටං ඈ ..

ඉතුරු ටිකත් ම කියන්ඩ ඕනේ නෑ නේ ...


ජයවේවා!
Myself Hattor

 


 




3 comments: